මෝදිගේ තුන්වන ජන වරම : ඉන්දියාවේ අගමැතිවරයාට සැපිරීමට ඇති දේශීය අභියෝග සහ ගෝලීය අභිලාෂයන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් පසු වූහ. කෙසේ වෙතත්, මෙතෙක් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිඵලවලින් පෙනී යන්නේ, මෝදි නමැති සන්නාමයට පහරක් එල්ල වී ඇති බව ය.

එසේ නම්, දැන් ඔහුට පෙරට වඩා සභාග හවුල්කරුවන්ට ඇහුම්කන් දීමට සිදු වනු ඇති බැවින්, අඩු වෙමින් පවතින සංඛ්‍යා සහිත මෝදිගේ තුන් වන ජයග්‍රහණය ගෝලීය වශයෙන් කෙසේ පිළිගැනීමට ලක්වේද යන්න සිතිය යුතුය.

එක්සත් රාජධානිය පදනම් කර ගත් පර්යේෂණ ආයතනයක් වන චැතම් හවුස්හි දකුණු ආසියානු කලාපීය ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය චීටිගී බජ්පායී පවසන්නේ, "විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, ඔහු ශක්තිමත් ජනවරමක් හෝ දුර්වල ජනවරමක් සමග පැමිණියත්, ඉන්දියාව වඩාත් ආකර්ෂණීය ආයෝජන ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා වන ඔහුගේ ප්‍රධාන ප්‍රමුඛතා ඉදිරියට ගෙන යනු ඇති," යනුවෙනි.

ඉන්දියාව, ගෝලීය නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම භාරතීය ජනතා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සටහන්ව තිබෙන අතර, මෝදිගේ ඊළඟ වසර 5 තුළ එම අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් දැඩි අවධානයක් යොමු කරනු ඇතැයි ආචාර්ය බජ්පායී විශ්වාස කරයි.

කෙසේ වෙතත්, භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ ජයග්‍රහණය බටහිර ලෝකය තුළ ඇති කරන්නේ, ශුභවාදී සහ අනතුරු ඇඟවීමක් අතර සම්මිශ්‍රණයකි.

ඡායාරූප මූලාශ්‍රය, Indian Press Information Bureau / EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, 992 වසරේදී හින්දු විරෝධතාකරුවන් විසින් විනාශ කරන ලද 16 වන සියවසට අයත් අයෝධ්‍යාහි මුස්ලිම් පල්ලියක් ඉවත් කර, ඒ වෙනුවට ඉදි කරන ලද රාම් මන්දිරයේ සමාරම්භක උත්සවයට 2024 ජනවාරි මාසයේදී සහභාගී වූ නරේන්ද්‍ර මෝදි

හින්දුත්ව මතවාදය

මෝදිගේ විදේශ ප්‍රතිපත්තිය වඩාත් ශක්තිමත් වනු ඇති අතර, හින්දු ආගමේ දක්ෂිණාංශික ස්වරූපයක් ප්‍රවර්ධනය කරන හින්දුත්ව මතවාදය පිළිබඳ ඔහුගේ මූලික දෘෂ්ටිවාදය වටා භ්‍රමණය වනු ඇතැයි ඇතැම්හු විශ්වාස කරති.

ජාත්‍යන්තර සාමය සඳහා වන කාර්නගී ආයතනයේ දකුණු ආසියා වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක සහ අධ්‍යක්ෂ මිලාන් වෛෂ්නාව් ඊට එකඟ නැත.

ඔහු පවසන්නේ, "අපි දකින භූ දේශපාලනික මාරුවීම් ස්වභාවයෙන් ම ව්‍යුහාත්මක වන නිසා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට හිමි වන තුන් වන ජනවරම ඇතුළේ විදේශ ප්‍රතිපත්තියේ සැලකිය යුතු වෙනසක් සිදු වනු ඇතැයි මම අපේක්ෂා කරන්නේ නෑ. ඉන්දියාවට තම මාංශ පේශි ලිහිල් කර ගන්න සලස්වන්නේ, එවැනි දේශපාලනික මාරුවීම් තමයි.

"පහළ යමින් තිබෙන අමෙරිකාව, ව්‍යාප්තිවාදී චීනය සහ නැතිවූ භූමිය නැවත ලබා ගැනීමට සටන් කරන රුසියාව සාමූහිකව ගෝලීය දර්ශනය මත ඉන්දියාවේ කේන්ද්‍රීයත්වය ඉහළ නංවනවා."

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැඳින්වේ

ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සැලකිය යුතු කරුණු

වඩාත් කැපී පෙනෙන භූ දේශපාලනික සහ ආර්ථික දැවැන්තයෙකු ලෙස මෝදි යටතේ ඉන්දියාව ලැබූ දියුණුව අවිවාදිත ය.

විශ්ලේෂකයින් පවසන්නේ, චීනයට එරෙහිව ආරක්ෂක පවුරක් ලෙස ක්‍රියා කිරීම සඳහා අමෙරිකාව සමග ඇති හවුල්කාරිත්වය ඔහුගේ ඉදිරි වසර පහ තුළ ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ය.

කෙසේ වෙතත්, එහි නැගීම ප්‍රජාතන්ත්‍රවාදී පසුබෑම පිළිබඳ සැලකිය යුතු කරුණු හේතුවෙන් යටපත් වී තිබේ.

විශ්ලේෂකයින් පවසන්නේ, ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් එල්ල වෙමින් පවතින බවට චෝදනා එල්ල වුව ද, ගෝලීයව රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු නොකර, තම ගෝලීය අභිලාෂයන් සාක්ෂාත් කර ගත නොහැකි බව මෝදි දන්නා බව ය.

උදාහරණයක් වශයෙන්, මීට වසරකට පෙර, නරේන්ද්‍ර මෝදිගේ ඓතිහාසික අමෙරිකානු රාජ්‍ය සංචාරය ආසන්නයේදී, නීති සම්පාදකයින් 70කට අධික පිරිසක් ජෝ බයිඩන්ට වෙත ලිපි යවන ලදී.

ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිටුදැකීම සහ මාධ්‍ය නිදහස ඛාදනයට ලක්වීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් කරුණු විමසන ලෙස ඔවුහු අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 2023 ජූනි මාසයේදී මෝදි සහ ජෝ බයිඩ්න් ධවල මන්දිරයේදී

මෙම කරුණු සම්බන්ධයෙන් බයිඩ්න්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් පෞද්ගලිකව විමසීමක් කළා ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත්, ප්‍රසිද්ධියේ මෝදි වීරයෙකුගේ පිළිගැනීමකට ලක් විය.

වඩාත් වැදගත් දෙයක් වූයේ, මෝදි තම රට "ප්‍රජාතන්ත්‍රවාදයේ මව" ලෙස පවා හඳුන්වමින් ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ආඩම්බරයෙන් යුතුව ප්‍රකාශ කිරීම ය.

මිලාන් වෛෂ්නව් විශ්වාස කරන්නේ, ඉන්දියාවේ ගෝලීය ප්‍රතිරූපයට එරට ප්‍රජාතන්ත්‍රවාදී සන්නාමය වැදගත් වන බව ය.

"ලිබරල්වාදය පිරිහී ඇති තත්ත්වක් තුළ, මෙම මැතිවරණවලින් පැහැදිලි වන ආකාරයට, මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව පවතිනවා.

"එ විතරක් නෙවෙයි, මැතිවරණ තරගකාරිත්වය ඉන්දියානු නායකත්වයට විශාල ධාවන අවකාශයක් ලබා දෙනවා - ආයතන දුර්වල වී ඇතත් - මූලික නිදහස ආරක්ෂා කිරීම පහත වැටී ඇති අතර, රාජ්‍යයේ බලහත්කාරී බලය වර්ධනය වී තියෙනවා.

"මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික නීතිරීති පිළිපැදීම භාරතීය ජනතා පක්ෂයේ අභිලාෂයන්ටත් එකඟ යි."

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජූනි 04 වන දා පක්ෂ මූලස්ථානයේදී නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රාහී කතාව අසන භාරතීය ජනතා පක්ෂයේ අධාරකරුවන්

එසේ නම්, ප්‍රශ්නය වන්නේ, නවතම ජයග්‍රහණය ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය සනිටුහන් කරයි ද?, නැතහොත් එය දීර්ඝ කාලීන අභියෝගවලට තුඩු දෙයි ද? යන්න ය.

මෙම මැතිවරණවලදී අසමාන ක්‍රීඩා පිටියක් පැවති බවට එල්ල වූ චෝදනා බටහිර රටවල අවධානයට ලක්ව නැත.

විපක්‍ෂ මහ ඇමතිවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම, විපක්‍ෂ ඉන්දීය කොංග්‍රසයේ බැංකු ගිණුම් අත්හිටුවීම සහ භාරතීය ජනතා පක්ෂයට පක්ෂපාතී මැතිවරණ බැඳුම්කර ආදිය සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

තව ද, මෝදි සිය මැතිවරණ ව්‍යාපාරයේදී ඉස්ලාම් භීතිකාව භාවිත කළ බවට චෝදනා එල්ල වීමෙන් පසු දැඩි විවේචනවලට ලක් විය.

අසමාන ක්‍රීඩා පිටියක් තිබියදීත්, විපක්ෂය හොඳින් ක්‍රීඩා කර ඇතැයි පෙනී යන බව වෛෂ්නව් විශ්වාස කරයි.

ඔහු පවසන්නේ, "ඔබ කෙසේ බැලුවත්, මැතිවරණ මූල්‍යකරණය, විමර්ශන ආයතන භාවිතය, මාධ්‍ය බලපෑම, සාපේක්ෂව නිහඬ මැතිවරණ කොමිසම වගේ දේවල් ගැන හිතුවා ම, මෙම මැතිවරණවලදී ක්‍රීඩා පිටිය විපක්ෂයට අවාසිසහගත වූ බවට විවාදයක් නැහැ."

"එවැනි අභියෝග තියෙදිදත්, විපක්ෂය සියලු අපේක්ෂා අභිබවා ගිහින් තියෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය පාලිත කාශ්මීරයේ අගනුවර වන ශ්‍රීනගර්හි මැතිවරණ නිලධාරියෙකු ඡන්ද පොළ නියෝජිතයෙකුට විද්‍යුත් ඡන්ද යන්ත්‍රයක් පෙන්වමින්

මැතිවරණ ක්‍රමයේ මධ්‍යස්ථභාවය

බලයලත් ආයතනවල මධ්‍යස්ථභාවය නොමැතිකම පිළිබඳ චෝදනා මෝදි ප්‍රතික්ෂේප කර ඇත.

ඔහු ඉන්දියා ටුඩේ රූපවාහිනී නාලිකාවට පැවසුවේ, භාරතීය ජනතා පක්ෂ පාලනය යටතේ මැතිවරණ කොමිසම "සැබවින්ම ස්වාධීන" වූ බව ය.

තව ද, ANI පුවත් ඒජන්සිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, "මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් ඇති නීති කිසිවක් මගේ රජය විසින් සාදන ලද ඒවා නොවන," බව ය.

ඡන්දය ප්‍රකාශ කිරීමට දිනකට පෙර මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ විපක්ෂයේ බහු-පක්ෂ නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද සියලු ම ඉල්ලීම් පිළිගත් බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, බටහිර ගුජරාට් ප්‍රාන්තයේ ආලියා බෙට් දූපතේ නැව් කන්ටේනරයක් තුළ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයක ඡන්දය ප්‍රකාශ කිරීමට ජැට් ප්‍රජාවේ ජනතාව පෙළගැසෙමින්

බජ්පායී ද එම කරුණු පිළිගනී.

"ඇත්තට ම, මතභේදයට තුඩු නොදී මැතිවරණ පවත්වන්න බැහැ. ඒත් අපට පේන්න තියෙන දේ තමයි, ඉන්දියාවේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඒ වුණත්, ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉතිරි වෙලා තියෙනවා. කාර්ය පටිපාටි මට්ටමින්, ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදය බොහෝ දුරට නොවෙනස්ව පවතිනවා."

කෙසේ වෙතත්, මෝදි තුන් වන වරට ලැබූ පස් අවුරුදු ධුර කාලය යටතේ ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ඛාදනය වීම සම්බන්ධයෙන් බටහිර ලෝකයේ හඬ නගන්නෝ බොහෝ විට කනස්සල්ල පළ කරති.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 2019 මෙම G20 රැස්වීම වැනි ජාත්‍යන්තර සමුළු වලදී මෝදී රුසියානු සහ චීන නායකයින් සමඟ සුහද සබඳතාවක් පවත්වා ඇත.

චීනයෙන් එල්ල වන අභියෝග

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බොහෝ විචාරකයින් විශ්වාස කරන්නේ, මෝදිගේ පාලනය පැවති පසුගිය වසර 10 මෙන්, අමෙරිකාව සහ අනෙකුත් බටහිර ආණ්ඩු, ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වී ඇතැයි යන්න නොසලකා හරිමින් මෝදි විවේචනය කිරීම ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට භාර දීමට කැමැත්තක් දක්වනු ඇති බව ය.

"ඒකට බලපාන කරුණු තිබිය හැකි වුණත්, ඉන්දු-පැසිෆික් කලාපය සම්බන්ධයෙන් සහ චීනයට එරෙහි වීම ගැන අවම වශයෙන් මූලික එකඟතා තියෙනවා," බජ්පායී පවසයි

දුර්වල වී ඇති මෝදි රජය බටහිරට වාසිසහගත ලෙස ක්‍රියා කිරීමට ඉඩ තිබේ.

එහෙත්, "ඉන්දියාව සමග පවත්වන ආරක්ෂක සහයෝගීතාව සහ රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාව ඉහළ යන විට අර්බුද ඇති කරන්න බටහිර රටවල් එච්චර කැමැත්තක් දක්වන එකක් නෑ," වෛෂ්නව් පවසයි.

අමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු සහ හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ආර්ථික උපදේශක කවුන්සිලයේ සාමාජිකයෙකු වූ ස්ටීව් හෑන්ක් මෙම කරුණ පුළුල්ව පැහැදිලි කරයි.

"නිතර භාවිත කරන වාක්‍යයක් ඉන්දියාව ලෝකයට විකුණලා තියෙනවා. ඒ තමයි: 'ඉන්දියාව ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය' කියන වැකිය.

"ප්‍රජාතන්ත්‍රවාදයේ පසුබෑමක් ලෙස පෙනෙන දෙයෙහි ආලෝකයෙන් වුණත්, ඒ ප්‍රබන්ධ වාක්‍ය ඛණ්ඩය නොනැසී පවතිනවා.

"ඒ වාක්‍යය ගැන ජාත්‍යන්තර මහ ජනතාවගේ රුචියක් තියෙනවා. ඒ නිසා, දැනට, ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය අවහිර වෙලා තියෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මැතිවරණ නිලධාරීන් ජූනි 4 වැනිදා නවදිල්ලියේ ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් තුළ තැපැල් ඡන්ද ගණන් කරමින්

ධනය සමග ලැබෙන දැවැන්ත බලය

ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ වත්මන් තත්ත්වය ගැන ලෝකය සැලකිලිමත් වන්නේ නම්, මෝදි යටතේ ආර්ථික බලාගාරයක් සහ වැදගත් භූ දේශපාලනික ක්‍රියාකරුවෙකු බවට පත්වීමේ ඉන්දියාවේ යෝධ ප්‍රගතිය පිළිබඳව ද පැහැදීමක් පවතිනු ඇත.

2014 වසරේදී පළමු වරට ඔහු බලයට පත්වන විට ඉන්දියාව පැවතියේ ලෝකයේ 10 වන විශාලතම ආර්ථිකය හිමි රට ලෙස ය.

මේ වන විට එය 5 වන ස්ථානයේ පසු වෙයි. තවත් වසර කිහිපයකින් ජර්මනිය සහ ජපානය අභිබවා යමින් එය, අමෙරිකාව සහ චීනයට පසු විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්වනු ඇත.

වේගවත් වර්ධනයක් සහ දිනෙන් දින ප්‍රසාරණය වන වෙළඳපොළක් සඳහා ඇති හැකියාව හේතුවෙන් ගෝලීය ආයෝජකයින් ඉන්දියාව කෙරෙහි උනන්දු වනු ඇත.

ඉන්දියාවේ ආර්ථිකය සාර්ථක මට්ටමක පැවතිය ද, තවමත් එහි විශාලත්වය චීනයේ ආර්ථිකයෙන් 20%ක් පමණි.

කෙසේ වෙතත්, චීනය ආර්ථිකමය වශයෙන් එකතැන පල්වෙමින් පැවතීම සමග අරගල කරමින් සිටින බැවින් ඉන්දීය ආර්ථිකය ප්‍රසාරණය කර ගැනීමේ ගම්‍යතාවක් ඇති බව විශ්ලේෂකයෝ පවසති.

බිලියන 1.4 ක ජනගහනයක් සිටින හෙයින් ඉන්දියාව විශාල දේශීය වෙළඳපොළක් බවට පත් කරන අතර, 7%කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් සහ තරුණ ශ්‍රම බළකායක් සමග නුදුරු අනාගතයේදී ඉන්දියාව විශාල බලවතෙකු වීමට සුදුසු අපේක්ෂකයෙකු බවට පත් කරනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවට සාපේක්ෂව තරුණ ශ්‍රම බලකායක් සිටින අතර එය ආර්ථික වර්ධනය සඳහා විභවයක් සපයයි

'නැගී එන බලවතෙක්'

අමෙරිකානු දේශපාලන විද්‍යාඥ ජෝන් මියර්ෂයිමර් මෑතකදී ප්‍රකාශ කළේ, ඉන්දියාව "නැගී එන මහා බලවතෙකු මිස තවමත් මහා බලවතෙකු බවට පත්වී නොමැති," බව ය.

ප්‍රශ්නය වන්නේ, ඉන්දියාව මහා බලවතෙකු බවට පත් කිරීමට සමත් වෙයි ද? යන්න ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු වීමට අපේක්ෂා කරයි

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වය ලබා ගැනීමට ඉන්දියාවට හැකි වෙයි ද?

එය ඉටු වීමේ සම්භාවිතාව ගැන චැතම් හවුස්හි බජ්පායීට ඇත්තේ සැකයකි.

"ප්‍රධාන බාධකය තමයි, තවමත් ඉන්දියාවට විරුද්ධ චීනය. ඒකට ඔක්කොම (ස්ථිර සාමාජික රටවල් 5 ම) කැමති වෙන්න ඕන. කැමැත්ත දෙන සාමාජිකයින් හතර දෙනෙක් දැනටමත් ඉන්නවා. ඒත්, චීනය තවමත් ඒකට විරුද්ධ යි."

යුක්රේනයට එරෙහි රුසියානු ආක්‍රමණයේ පැත්ත ගැනීමට ඉන්දියාව තල්ලු වී තිබේ. එහෙත් ඉන්දියාව සිය මූලෝපායික මධ්‍යස්ථභාවය රැකගෙන ඇත.

ස්ටීව් හෑන්ක් පවසන්නේ, "විදේශ කටයුතු සම්බන්ධයෙන් ගත් කල, අගමැති මෝදිට සුබ්‍රමනියම් ජයිශංකර් නමැති විශිෂ්ට විදේශ අමාත්‍යවරයෙකු සිටින," බව ය.

"මෝදි-ජයිශංකර් දෙන්නා දක්ෂ විදිහට මේ ගේම් එක ගහයි."

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 2018 දී යුද්ධයට පෙර සිට පැවති සබඳතාවය රඳවා ගනිමින් යුක්රේනය රුසියාව ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් පුටින් ප්‍රසිද්ධියේ හෙළා දැකීම මෝදි ප්‍රතික්ෂේප කර ඇත.

රුසියාව සහ යුක්‍රේනය

යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති පුටින් විවෘතව හෙළා දැකීම ප්‍රතික්ෂේප කිරීමත් සමග, රුසියාව සහ යුක්‍රේනය සම්බන්ධයෙන් ඉන්දියාවට ඇති උපායමාර්ගික ස්වයං පාලනය බටහිර රටවල එතරම් ප්‍රසාදයකට ලක්වී නැත.

මෝදි ඉන්දියාවේ පැරණි මිතුරා වන පුටින්ව මේ වාරයේදී ද අත්හරින ලකුණු පෙනෙන්නට නැත.

එහෙත්, ඉන්දියාවේ ලෝක දැක්ම පදනම් වී ඇත්තේ, විශ්වමිත්‍ර (සියලු දෙනාගේ ම මිතුරා) සහ විශ්වගුරු (සියලු දෙනාගේ ම ගුරුවරයා) යන පුරාණ දර්ශනය මත ය.

ඉන්දියාව බටහිර-හිතවාදී හෝ බටහිර-විරෝධී නොවන බව බජ්පායී පැහැදිලි කරයි.

ඉන්දියාව පවතින තත්ත්වයට වඩා ගෝලීය වශයෙන් බලපෑමක් කළ හැකි රටක් කරා ගමන් කරන විට, වඩාත් සමබර සහ බහු-ධ්‍රැවීය ගෝලීය ක්‍රමයකට දායක වෙමින්, ජාතියේ නැගීම උපායමාර්ගික සහ තිරසර බව සහතික කිරීම සඳහා වන මෝදිගේ නායකත්වය තවදුරටත් පරීක්ෂාවට ලක් වනු ඇත.