ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට විසිවෙයි

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S. KODIKARA/AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රිකට් අතුරු කමිටු සභාපති අර්ජුන රණතුංග තරගය නරඹන අයුරු

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද ( නොවැම්බර් 6 වැනිදා) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලු 03ක ජයක් ලැබීමට බංගලාදේශය සමත් විය.

එය මෙතෙක් ලෝක කුසලාන එක්දින තරගාවලියකදී බංග්ලාදේශය, ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව වාර්තා කළ පළමු ජයග්‍රහණය ලෙස වාර්තා පොත් අතරට එක් විය.

දිල්ලි හි අරුන් ජෙට්ලී ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය උණුසුම් මුහුණුවරක් ගනු ලැබිය.

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

ඒ, දෙපිලේ ක්‍රීඩකයින් අතර ඇතිවූ වචන හුවමාරුවීම් සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ ඓතිහාසික දැවී යාම වැනි සිදුවීම් හේතුවෙනි.

මෙම පරාජයත් සමග ලෝක කුසලාන එක්දීන තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවන අතර 2025 වසරේ පැවැත්වෙන ශුරයින්ගේ කුසලානයට සුදුසුකම් ලැබීමට ඇති ඉඩ කඩද සීමා සහිතවී තිබේ.

අද තරගයට ශ්‍රී ලංකා පිල සිදුකළ වෙනස්කම

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබුණි.

ඒ අනුව ඉකුත්දා ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරගයට ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න සහ දුෂාන් හේමන්ත යන ක්‍රීඩකයින් වෙනුවට කුසල් ජනිත් පෙරේරා සහ ධනංජය ද සිල්වා කැඳවා තිබුණි.

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

තවමත් නොවිසිඳුණු ගැටළුව

මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදී සිටින ගැටළුවක් වන පළමු කඩුල්ල වෙනුවෙන් ශක්තිමත් බැඳීමක් තබා ගැනීමට මෙන්ම ශක්තිමත් ආරම්භයක් ලබා ගැනීම අද තරගයේදී ද දක්නට නොලැබුණි.

තරගයේ පළමු පන්දු වාරයේදීම ලකුණු 4ක් රැස් කරගෙන සිටි කුසල් ජනිත් පෙරේරා බංගලාදේශයේ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් අතට උඩ පන්දුවක් ලබා දීමෙන් දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව ලකුණු 5ක්ව තිබියදීයි.

ඉන් පසුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක සමග එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක් එක් කිරීමට සමත් විය.

කෙසේ වුවද ශ්‍රී ලංකා ඉනිමේ 12 වන පන්දු වාරයේදී ශකිබ් අල් හසන්ගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 19 කටය.

හොඳින් පන්දුවට පහර දෙමින් සිටි පැතුම් නිස්සංක ද කුසල් මෙන්ඩිස් දැවී ගොස් මද වෙලාවකින් ලකුණු 41ක් රැස් කරගෙන සිටියදී දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව සටහන් වුයේ පන්දුවාර 12 යි පන්දු 4 කට ලකුණු 72ක් ලෙසයි.

සදීර සහ චරිත් දැමු අඩිතාලම

එක ළඟ කඩුලු දෙකක් දැවී යාමෙන් පසුබෑමකට ලක්වූ ශ්‍රී ලංකා ඉනිම නැවත ගොඩනැගීමට චරිත් අසලංක සහ සදිර සමරවික්‍රම උත්සහ දැරීය.

ඔවුන් දෙදෙනා විසින් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක් එක් කිරීමට සමත් වන ලදී.

ඉතා හොඳින් ලකුණු රැස් කරමින් සිටි සදීර සමරවික්‍රම 25 වන පන්දු වාරයේදී වේගයෙන් ලකුණු රැස් කිරීමට දැරූ උත්සාහයේදී ලකුණු 41 කට දැවී ගියේ උඩ පන්දුවක් ලබා දීමෙන්ය. ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 135ක් ලෙසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අසලංක පන්දු 105 කදී ලකුණු 108ක් රැස් කරමින් සිටියදි දැවී ගියේය.

ඉතිහාසගත වූ දැවී යෑම

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අද පැවති තරගයේදී සිදුවූ එක් ඓතිහාසික දැවී යාමක් සම්බන්ධයෙන් බොහෝ සංවාද හා විවෙචන සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි.

ඒ ඇන්ජලෝ මැතිව්ස් ගේ දැවී යාම සම්බන්ධයෙනි.

සදීර සමරවික්‍රම ගේ දැවී යාමෙන් පසු පන්දුවට පහරදීමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් එකඳු පන්දුවකට හෝ මුහුණ නොදී දැවී ගියේය.

ඒ ඔහු පන්දුවට පහරදීම සඳහා මිනිත්තු දෙකක කාලයකට වඩා කාලය ගත කිරීම හේතුවෙනි.

පන්දුවට පහරදීමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් ගේ ආරක්‍ෂිත හිස් වැසුමේ පටියක් ගැලවී යාම හේතුවෙන් ඔහු නව ආරක්‍ෂිත හිස්වැසුමක් ක්‍රීඩාගාරයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පන්දුවට පහරදීම ප්‍රමාද වුවායැයි ප්‍රතිවාදී බංගලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන් විනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව ඇන්ජලෝ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කරන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පන්දුවට පහරදීම ප්‍රමාද වුවායැයි බංගලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන් විනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව ඇන්ජලෝ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කරන ලදී

ක්‍රිකට් නීතිය අනුව පිතිකරුවෙකු දැවී යාමෙන් පසු පිටියට පැමිණෙන අනෙක් පිතිකරු මිනිත්තු 02 ක් ඇතුළත තණතීරුවට පැමිණ ඊළඟ පන්දුවට මුහුණ දීමට සූදානම් විය යුතු යැයි දැක්වෙයි.

ඇන්ජලෝ මැතිව්ස් ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි ධනංජය ද සිල්වා, චරිත් අසලංක සමග එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම වැටී තිබු අසිරු තත්ත්වයෙන් මුදා ගැනීමට දැඩි වෙහෙසක් දැරීය.

ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් එල්ලවූ පීඩනයට සාර්ථකව මුහුණ දුනි.

ඔවුන් දෙදෙනා විසින් 06 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් විය.

38 වන පන්දු වාරයේදී ලකුණු 34ක් රැස් කරගෙන සිටි ධනංජය ද සිල්වා දැවී යන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දැක්වුයේ කඩුලු 06 කට ලකුණු 213ක් ලෙසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තරගය උණුසුම් වචන හුවමාරු මැද පැවැත්වෙන අයුරු දක්නට ලැබුණි.

අසලංක ගේ සුවිශේෂී ඉනිම

එක් අන්තයක පිතිකරුවන් දැවී යන විට චරිත් අසලංක පමණක් ඉතා ඉවසීමෙන් පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට දැඩි වෙහෙසක් ගනු ලැබිය.

ඒ අනුව චරිත් අසලංක සහ මහිෂ් තීක්ෂණ 8 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සම්බන්ධතාවයක් එක් කිරීමට සමත් වූහ.

ලකුණු 21ක් රැස් කරමින් සිටියදි මහීෂ් තීක්ෂණ දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ 46 වන පන්දු වාරයේදීයි. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 258ක් ලෙසය.

ශ්‍රී ලංකා ඉනිම පුරාවට නැංගුරමක් බඳු වූ චරිත් අසලංක එක්දින තරගවල සිය දෙවන ශතකය වාර්තා කිරීමට සමත් විය.

අසලංක පන්දු 105 කදී ලකුණු 108ක් රැස් කරමින් සිටියදි දැවී ගියේය.

ඒ අනුවශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49 යි පන්දු 3 කදී සියලු දෙනා දැවී ලකුණු 279ක් රැස් කිරීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පන්දු යැවීමේදී දිල්ෂාන් මධුෂංක කඩුලු 03ක් ද, ඇන්ජලෝ මැතිව්ස් සහ මහීෂ් තීක්ෂණ කඩුලු දෙක බැගින් දවා ගනු ලැබූහ.

සාර්ථක ආරම්භයක් ගෙන දුන් මධුෂංක

ලකුණු 280ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 17 දී දවා ගැනීමට ඩිල්ෂාන් මධුෂංක සමත් විය. ඒ ලකුණු 09ක් රැස් කරගෙන සිටි ටන්සිඩ් හසන් දවා ගැනීමත් සමගයි.

ඉන් පසු ලිටන් දාස් සහ නජ්මුල් හුසේන් සන්ටෝ දෙදෙනා දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 24ක් එක් කිරීමට සමත් විය.

නැවත වරක් ක්‍රියාත්මක වූ ඩිල්ෂාන් මධුෂංක විසින් ලකුණු 23ක් රැස් කරගෙන සිටි ලිටන් දාස් දවා ගනු ලැබිය.

ඒ වන විට බංග්ලාදේශ ඉනිමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 6 යි පන්දු 2 කදී ලකුණු 41ක් ලෙසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලිටන් දාස් විසින් ලබා දුන් උඩ පන්දුවක් කුසල් ජනිත් පෙරේරා අතින් ගිලිහි ගියේය. ඒ බංගලාදේශ ඉනිමේ තෙවන පන්දු වාරයේදීයි.

තරගයේ වාසිය ගිලිහි ගිය අවස්ථාව

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ලිටන් දාස් විසින් ලබා දුන් උඩ පන්දුවක් කුසල් ජනිත් පෙරේරා අතින් ගිලිහි ගියේය. ඒ බංගලාදේශ ඉනිමේ තෙවන පන්දු වාරයේදීයි.

මෙවර ලෝක කුසලාන තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා පන්දු රකින්නන් උඩ පන්දු 16ක් අතහැර තිබේ.

බංගලාදේශ ඉනිමේ 10 වන පන්දු වාරයේ දී ඇන්ජලෝ මැතිව්ස් යැවු පන්දුවට ෂකිබ් අල් හසන් විසින් ලබා දුන් උඩ පන්දුවක් චරිත් අසලංක අතින් ගිලිහි ගියේය. ෂකිබ් ඒ වන විට ලකුණු 07ක් රැස්කරගෙන සිටියේය.

ඒ වන විට බංගලාදේශ ඉනිමේ ලකුණු පුවරුව දැක්වුනේ ලකුණු 59ක් ලෙසයි.

එම උඩ පන්දුව ගිලිහි යාමෙන් පසු ෂකිබ් අල් හසන් සහ නජ්මුල් හුසේන් සන්ටෝ ශ්‍රී ලංකා පන්දු රකින්නට කිසිදු ඉඩක් ලබා නොදෙමින් බංගලාදේශ ඉනිම ශක්තිමත් කළහ.

ඔවුන් දෙදෙනා විසින් බංග්ලාදේශ ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 151ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

බංගලාදේශ ඉනිමේ 32 වන පන්දු වාරයේදී ඇන්ජලෝ මැතිව්ස් විසින් යවන ලද පන්දුවකට ෂකිබ් අල් හසන් ලකුණු 82 කට දැවී ගියේය. ඒ වන විට බංග්ලාදේශ ඉනිමේ ලකුණු පුවරුව දැක්වුයේ ලකුණු 210ක් ලෙසයි.

නැවත වරක් ක්‍රියාත්මක වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 90ක් රැස් කරගෙන සිටි නජ්මුල් හුසේන් සන්ටෝ දවා ගැනීමට සමත් විය.

කෙසේ වුවද බංගලාදේශ පිතිකරුවන් පන්දු වාර 41 යි පන්දු 1ක් තුලදී කඩුලු 07ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියේ තවත් පන්දු 53ක් ඉතිරිව තිබියදීයි.

පන්දු යැවීමේදී දිල්ෂාන් මධුෂංක කඩුලු 03ක් ද, ඇන්ජලෝ මැතිව්ස් සහ මහීෂ් තීක්ෂණ කඩුලු දෙක බැගින් දවා ගනු ලැබූහ.