එයාර්බස් ගනුදෙනුව: චමල් රාජපක්ෂගේ පුත්‍රයා සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි විවෘත වරෙන්තු
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
එයාර්බස් මිල දී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ෂමීන්ද්‍ර රාජපක්ෂ සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක යන අය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 2 වැනිදා) නියෝග කළේ ය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මීට පෙර කරන ලද ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් මෙම වරෙන්තු නිකුත් කළේ ය.
මෙම නියෝගය ශ්‍රී ලංකාවේ සියලු ගුවන් තොටුපළවල් වෙත යැවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසමට දැනුම් දෙන ලෙස ද ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේ ය.
ඊට අමතරව මෙම වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
කපිල චන්ද්‍රසේනගේ ඇප ප්‍රතික්ෂේප වෙයි
තව ද සැකකාර කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 17 වන දා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට නියම කළේ ය.
මෙම නඩුකරයට අදාළ ලේඛනයක් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වී ඇති බව ත් ඒ පිළිබඳව විමර්ශනය කළ යුතු බව ත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසූහ.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරියාගෙන් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා මේ ලේඛනය පළ වී ඇත්තේ එය අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ද? එසේත් නැත්නම් එය ඉදිරිපත් කළාට පසුව දැයි විමසා සිටියේ ය.
ඊට ප්‍රතිචාර දක්වමින් අල්ලස් කොමිසමේ නිලධාරියා කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ යුතු බවයි.
සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ එම ලේඛනයේ අධිකරණයේ මුද්‍රාව තිබේදැයි සොයා බලන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ය.
අදාළ ලේඛනයේ අධිකරණයේ මුද්‍රාව නොමැති නම් එය තම අධිකරණයට අදාළ නොවන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.
මෙම සිද්ධියට අදාළව ලබාගත් අල්ලස් මුදල එස්.එල්.ඇග්‍රෝ නමැති සමාගමක ගිණුමකට ලැබී තිබෙන බව අධිකරණය හමුවේ තවදුරටත් කරුණු දක්වමින් අල්ලස් කොමිසමේ නිලධාරීහු සඳහන් කළහ.
"මෙම සැකකරු විසින් මුදල් ලබා දෙන ලද බව කියන පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම් සදහන් කළා. එම මුදල් ගෙවා තිබෙන්නේ කෙසේ ද?," යනුවෙන් මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමසීය.
ඊට පිළිතුරු දෙමින් අල්ලස් කොමිසමේ නිලධාරියා සඳහන් කළේ, එම මුදල් තමන්ගේ ගිණුමෙන් සහ සිය පියාගේ බැංකු ගිණුමේ තිබූ මුදල්වලින් ගෙවා දැමූ බවට සැකකරු ප්‍රකාශ කර ඇති බවයි.
මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් දේශීය මෙන් ම ජාත්‍යන්තර ආයතනවල සහය ලබා ගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරියා, ඒ අනුව සැකකරු නඩුව අවසන් වනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
'සැකකරු රිමාන්ඩ් භාරයේ තැබීම සුදුසු නැහැ'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉන් අනතුරුව සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස පැවසීය:
"ස්වාමීනී... මේ නඩුවේ විමර්ශන කටයුතු ආරම්භ වුණේ 2020 වසරේ. අවුරුදු හයක් විමර්ශන සිදු කරලා තිබෙනවා. අල්ලස් කොමිසම කියන්නේ සැකකරුව රිමාන්ඩ් කරන්න කියලා විතරයි. රිමාන්ඩ් කළ යුත්තේ ඇයි කියලා ඔවුන් කරුණු පැහැදිලි කරන්නේ නෑ.
"මේ සැකකරුට ඇප දීමෙන් සිදුවන අගතියත් ඔවුන් පැහැදිලි කරන්නේ නෑ. මේ සැකකරුගේ බිරිඳ දැන් ඔහුගෙන් වෙන්වෙලා ජීවත් වන්නේ. ඇය සිටින්නේ ඔස්ට්‍රේලියාවේ.
"ඉතින් ඇය අධිකරණයට ඉදිරිපත් වනතුරු මේ සැකකරු රිමාන්ඩ් භාරයේ තැබීම සුදුසු නැහැ. මේ සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් කරලා නෑ. විමර්ශනවලටත් බාධා කරල නෑ.
"ඒ වගේ ම මේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කරන රංග දිසානායක කොටුව මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ඇප මත මුදා හැරීමට කටයුතු කළා.
"ඇප පනත යටතේ මොහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රමාණවත් කරුණු නැති බව සඳහන් කරමින් තමයි එදා ඇප මත මුදා හැරීමටත් තීන්දු කළේ," ඒ අනුව ඔහු ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
'ඇප ලබා දුන්නොත් ඔහුට තර්ජනයක් ඇති වෙන්න පුළුවන්'
එම ඉල්ලීමට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය දැඩි විරෝධය පළ කරමින් මෙසේ පැවසුවා ය:
"ස්වාමීනී... මේ සැකකරුගේ නීතිඥවරයා සඳහන් කළා ඔහු ඔහුගේ බිරිඳගෙන් වෙන්ව ජීවත් වන බවට. ඒක පිළිගන්න බැහැ ස්වාමීනී. මොවුන් විදේශ තහනම ඉවත් කර ගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළේ එකටයි.
"ඒ වගේ ම දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තකට බව කියමින් තමයි මොවුන් විදේශගත වුණේ. මේ සිද්ධියට අදාළව අල්ලස් වශයෙන් ලබාගත් මුදල් ලබා දුන් පුද්ගලයින්ගේ නම් මේ සැකකරු විසින් අනාවරණය කර තිබෙනවා.
"ඒ නිසා ඇප ලබා දුන්නොත් ඔහුට තර්ජනයක් ඇති වෙන්න පුළුවන්. ඒක යුක්තිය ඉටු කිරීමට විශාල බාධාවක්. ඒ වගේ ම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මේ සැකකරුට ඇප නියම කිරීම ගැන විත්තියේ නීතිඥවරයා සඳහන් කළා. ඒක මේ අවස්ථාවට අදාළ නෑ.
"ඒ ඇප නියම කිරීම කර තිබෙන්නෙත් අපරාධ නඩු විධාන සංග්‍රහය සහ දඩ නීති සංග්‍රහය යටතේ ඉදිරිපත් කළ චෝදනාවලට. නමුත් මේ පැමිණිල්ල ඉදිරිපත් වන්නේ දූෂණ විරෝධී පනත යටතේ. ඒ නිසා එම තත්ත්වය අදාළ වන්නේ නෑ," යනුවෙන් සඳහන් කළ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇප ඉල්ලීමට විරුද්ධ වන බව ද පැවසුවා ය.
මහේස්ත්‍රාත්වරයාගෙන් අල්ලස් කොමිසමට නියෝගයක්
ඉන් පසුව නඩුවේ දෙවන සැකකාරිය වශයෙන් නම්කර සිටින කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායිකාව ඔස්ට්‍රේලියන් පුරවැසිභාවය හිමි තැනැත්තියක බවත් ඇය ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටි බවත් සඳහන් කළේ ය.
නමුත් මෙම විමර්ශනයට අදාළව මාධ්‍යවලින් පළ වී තිබෙන තොරතුරු දැක ඇය භීතියට පත්ව සිටින බව නීතිඥවරයා පැවසුවේ ය.
එම නිසා ඇය වෙනුවෙන් නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, අද දින ඇප ඉල්ලීම සඳහා ඉදිරිපත් වූ කරුණු පිරික්සීමේදී සුවිශේෂී කරුණක් වශයෙන් අනාවරණය වී ඇත්තේ 2020 වසරේ මෙම විමර්ශනය ආරම්භ වූ බවට සඳහන් කරුණක් පමණක් බව ය.
මෙම සිද්ධියට අදාළව සැකකරුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් මීට පෙර ඇප ලබා දී ඇතැයි සඳහන් කරුණ සම්බන්ධයෙන් තමන් මීට පෙර නියෝගයක් ලබා දුන් බවත් එය මෙම අවස්ථාවට අදාළ නොවන බවත් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ ය.
ඒ අනුව, සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් ලබන 17 වන දා දක්වා රිමාන්ඞ් භාරයේ තැබීමට නියම කළේ ය.
සැකකාර කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ විදේශගත වුණේ කවදා ද? පිටත්වූ රට කුමක් ද? ටිකට් පත් ලබා ගත්තේ කෙසේ ද? විදේශගත වුණේ එක්ව ද? වෙන් වෙන්ව ද? ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසම වෙත නියෝග කළේ ය.
ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත