ලිංගික හිංසනයට එරෙහි හොලිවුඩ් තරු කළු ඇඳුමින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලිංගික හිංසනයට එරෙහිව කළු ඇඳුමින්

ලොස් ඇන්ජලීස් නගරයේ පැවැත්වුන 'ගෝල්ඩන් ග්ලොබ්ස්' සිනමා සහ රූපවාහිනී සම්මාන උළෙලට සහභාගී වූ බොහෝ 'හොලිවුඩ්' නළු නිළියන් කළු පැහැයෙන් සැරසීම ලෝකය පුරා ජනමාධ්‍යයන්හි අවධානයට ලක් විය.

හොලිවුඩ් සිනමාවේ බැබළෙන තරු 'ගෝල්ඩන් ග්ලොබ්ස්' උළෙල සඳහා කළු පැහැය තෝරා ගෙන තිබෙන්නේ සිය ක්‍ෂේත්‍රය තුළ පහර දීම් සහ ලිංගික අතවරවලට ගොදුරුවූවන්ට සහයෝගය පළ කිරීමක් වශයෙනි.

එම ප්‍රශ්නය කොතරම් බරපතළ අතට හැරී ඇද්ද යන්න ඉස්මතු කර දැක්වීම සඳහා සිනමා සහ රූපවාහිනී නළු නිළියන් කණ්ඩායමක් උළෙලට පැමිණියේ ලිංගික සහ වාර්ගික සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයන් ද කැටුවය.

'හොලිවුඩ්' නිෂ්පාදකයකු වන හාවි හාවි වයින්ස්ටයින්ට (Harvey Weinstein) එරෙහිව ලිංගික අතවර චෝදනා රැල්ලක් පසුගිය කාලය තුළ මතු වෙමින් පැවති අතර, හොලිවුඩ් සිනමාවේ සහ ඉන් පරිබාහිර ප්‍රසිද්ධ චරිත ඉලක්ක කර ගනිමින් ඊට සමාන චෝදනා ඉදිරිපත්ව ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ලිංගික හිංසනයට අපිත් විරුද්ධයි"

'ගෝල්ඩන් ග්ලොබ්ස්' සිනමා සහ රූපවාහිනී සම්මාන උළෙල වැදගත් වන්නේ මීළඟ 'ඔස්කාර්' සම්මාන උළෙලේ සම්මානලාභීන් වන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් එමගින් ඉඟියක් ලැබෙන හෙයිනි.

මෙවර ඔස්කාර් සම්මාන උළෙල ලබන මාර්තු මාස හතරවෙනිදා පැවත්වීමට නියමිතව ඇත.

එහෙත් මේ වසරේ 'ගෝල්ඩන් ග්ලොබ්ස්' සිනමා සහ රූපවාහිනී සම්මාන උළෙල සිනමාව පිළිබඳ වසරක් නොව "විරෝධතා වසරක්" හැටියට මතකයේ රැඳෙනු ඇතැයි බීබීසී වාර්තාකරුවෙක් පවසයි.

මෙය හොලිවුඩ් තිරය තුළ සිදු විනැයි චෝදනා කෙරෙන ලිංගික දූෂණ සහ අපචාර පිළිබඳව තොරතුරු ප්‍රචාරය වීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු 'ගෝල්ඩන් ග්ලොබ්ස්' සිනමා සහ රූපවාහිනී සම්මාන උළෙලයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හොලිවුඩයේ සිදු කරන ලද ලිංගික අතවර සම්බන්ධයෙන් චෝදනා ලබන සිනමා නිෂ්පාදක හාවි වයින්ස්ටයින්

එම අවස්ථාවට සහභාගී වූ බොහෝ සම්මානලාභීන් සහ වැඩ සටහන ඉදිරිපත් කළ පිරිස් 'හොලිවුඩ්' සිනමාව තුළ සිදු කෙරෙන අපචාර පිළිබඳව අදහස් දක්වා ඇත.

"නෝනාවරුන්ගෙන් සහ රැඳී සිටින මහත්වරුන්ගෙන් අවසරයි! මේ 2018 වසර! දැන් 'මරිජුවානා' වලට අවසරයි. ලිංගික හිරිහැර අවසානයි!" සම්මානලාභීන්ට ආරාධනා කළ සෙත් මෙයර්ස් (Seth Meyers) ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්;