දූෂණ චෝදනා මැද ලූලාට ඇමැතිකමක්: මහජන විරෝධය

ඡායාරූප මූලාශ්‍රය, AFP
බ්‍රසීලයේ ජනාධිපතිනිය දිල්මා රුසේෆ් විසින් වංචා දූෂණ චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති ලූලා ද සිල්වාට කැබිනට් මණ්ඩලයේ උසස්ම නිලය පිරිනැමීමට විරෝධය දැක්වීමට බ්‍රසීලියා අගනුවර සහ තවත් නගර කිහිපයක අති විශාල උද්ඝෝෂණයක් පැවැත්වුණි.
මහජන විරෝධය නොතකමින් ඔහු සිය ධුරයට දිවුරුම් දෙනු ලැබුවත් ඉන් සුළු වෙලාවකට පසු බ්‍රසීලියා නුවර අධිකරණය ආඥාවක් නිකුත් කරමින් කියා සිටියේ ඔහුගේ නව පත්වීම බල රහිත බවයි.
බ්‍රසීලයේ අගනුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිටට රැස්වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය.
බ්‍රසීල ඉතිහාසයේ බලයේ සිටින රජයකට එරෙහිව පැවති විශාලතම ජනතා විරෝධතාව ලෙස මෙය සැලකිය හැකි බවයි පැවසෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty
'සොරකම්, වංචා සහ දේශපාලන කුමන්ත්‍රණ! බ්‍රසීල වැසියෝ මෝඩයන් නොවෙයි' වීදියෙන් හඩ නැගෙන බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා මේ වන විට තමන්ට එල්ල කෙරුණු මහ පරිමාණ වංචා සහ දූෂණ මාලාවක් සම්බන්ධයෙන් විභාගයකට ලක්ව සිටියි.
දිලමා සහ ලූලා අතර දුරකථන සංවාදයක්

ඡායාරූප මූලාශ්‍රය, Agencia Brasil
බ්‍රසීල ජනාධිපතිනිය ලූලා ද සිල්වා අමාත්‍යධුරයට පත් කොට තිබෙන්නේ ඔහුට එල්ල වී ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීමට වන බව තහවුරු කෙරෙන දිලමා සහ ලූලා අතර ඇතිවූ දුරකථන සංවාදයක් විභාගය භාර විනිසුරුවරයා විසින් ජනතාවට හෙළි කරනු ලැබීමත් සමග මෙම විරෝධතා හට ගෙන තිබේ.
බ්‍රසීල ජනාධිපතිනියට පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් එල්ල වී තිබූ අතර ලූලා ද සිල්වා ඇයට පක්ෂව ක්‍රියා කරන බවට දුන් පොරොන්දුව පිට ඔහුට ඇමති ධුරයක් ලබා දී අත්අඩංගුවට ගැනීමෙන් නිදහස් කළ බවයි වාර්තා වන්නේ.
බ්‍රසීල නීතියට අනුව රජයේ අමාත්‍යවරයෙකු අත්අඩංගුවට ගත නොහැකි අතර ඔහුට නඩු පවරා විභාග කළ හැක්කේ එරට ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි.
ජනාධිපතිනිය විසින් නම් කළ නව අමාත්‍යවරු අද (බ්‍රහස්පතින්දා) දිවුරුම් දීමට නියමිතව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මේ අතර විපක්ෂයේ පාර්ලිමේන්තු සභිකයින් අද දිල්මාට සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වන ලෙස බල කරමින් සභාව තුල දී විරෝධතාවක් ද පවත්වනු ලැබීය.
කෙසේ වෙතත් ජනාධිපතිනිය ලූලාගේ පත්වීම සාධාරණීකරණය කරමින් කියා සිටින්නේ ඔහු ඉතා දක්ෂ අත්දැකීම් බහුල දේශපාලනඥයකු වන අතර ඔහුට එල්ල වී ඇති චෝදනා අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණය හරහා විභාග කිරීමට තවමත් ඉඩකඩ පවතින බවයි.




























