2022 වසරේදී පළමු වරට සිදුවූ සිදුවීම් 09 ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇතැම් රටවල සරුබව පිළිබඳ අනුපාත ඉහළ අගයක් ගැනීම ගෝලීය ජනගහනය බිලියන අටක් ඉක්මවා යාමට හේතු විය.

2022 වසරේදී පෙර නොවූ විරූ සිද්ධි රැසක් වාර්තා විය. මේ ඒ අතරින් වඩාත් විශේෂිත සිද්ධි කිහිපයකි.

නාසා ආයතනය ග්‍රහකයක ගමන වෙනස් කරයි

සැප්තැම්බර් 28 වන දා නාසා ආයතනය විසින් අභ්‍යවකාශ යානයක හිතාමතා ගැටීමට සලස්වා ග්‍රහකයක ගමන්මග සාර්ථක ලෙස වෙනස් කරන ලදී. ඉන් අත්හදා බලන ලද්දේ, පෘථිවියට තර්ජනයක් විය හැකි අභ්‍යවකාශ පාෂාණ ආරක්ෂිතව ඉවතට තල්ලු කළ හැකි ද යන්නය. එය කළ හැකි බව තහවුරු විය.

මිනිස් රුධිරයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතැයි සොයා ගැනිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශරීරය තුළ ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික්වල බලපෑම් අනාවරණය වී නැත.

පසුගිය මාර්තු මාසයේ Environment International නමැති ජර්නලයේ පළ කෙරුණු අධ්‍යයනයකින් හෙළි කෙරුණේ පර්යේෂණයට යොදා ගැනුණු පුද්ගලයින්ගෙන් 80%කගේ රුධිර සාම්පලවලින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් හමුවූ බවය.

ක්ෂුද්‍ර ප්ලාස්ටික් යනු මිලිමීටර් 5ට වඩා අඩු දිගකින් යුත් කුඩා ප්ලාස්ටික් කැබලිය. ඒවා ඇති වන්නේ, පස තුළ හෝ මුහුදේදී විශාල ප්ලාස්ටික් කැබලි කැඩී යාමෙනි.

සිරුර තළ ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික්වලින් ඇති වන බලපෑම අනාවරණය වී නැත. එහෙත්, පර්යේෂකයින් පැවසුවේ, නව අධ්‍යයනයේ ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර ක්ෂුද්‍ර ප්ලාස්ටික් මගින් මිනිස් සෛල හානි විය හැකි බවය.

ලෝක කුසලානයේ පළමු වරට සිදුවුණු දෑ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝක කුසලාන අවසන් තරගයක් විනිශ්චය කළ පළමු විනිසුරුවරිය බවට ප්‍රංශයේ ස්ටෙෆනි ෆ්රැපෙයා 2022 කටාර් පාපන්දු තරගාවලියේදී ඉතිහාසගත විය.

2022 පිරිමි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පෙර නොවූ විරූ සිද්ධි මාලාවක් සමග ඉතිහාසයට එක් වනු ඇත.

මුලින් ම, කටාරය, ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට සත්කාරකත්වය සැපයූ පළමු අරාබි හෝ මුස්ලිම් රට බවට පත් විය.

ලෝක කුසලාන පාපන්දු තරගයක ප්‍රධාන විනිසුරු ලෙස කාන්තාවක කටයුතු කළේ ද පළමු වරටය. ප්‍රංශයේ ස්ටෙෆනි ෆ්රැපෙයා එලෙස ජර්මනිය සහ කොස්ට රිකා අතර තරගය විනිශ්චය කළාය.

ස්ටෙෆනි නායකත්වය දුන් කාන්තා විනිසුරු කණ්ඩායමට බ්‍රසීලයේ නෙඋසා බැක් සහ මෙක්සිකෝවේ කරෙන් මෙදීනා ඇතුළත් වූහ.

පළමු වරට සිදුවූ තවත් සිදුවීමක් වූයේ මොරොක්කෝව අවසන් පූර්ව වටයට පිවිසුණු ආකර්ෂණීය ජයග්‍රහණයයි. එය එම තරගාවලි ඉතිහාසයේ අප්‍රිකානු හෝ අරාබි රටක් ලැබූ ඉහළ ම ජයග්‍රහණයයි. උත්සහයන් පහකට පසුව ලියනල් මෙසී ලෝක කුසලානය ඔසවනු පළමු වරට දුටුවේ ද කටාර් 2022 තරගාවලියේදීය.

අපි බිලියන අටක්... තවත් ඉදිරියට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝක ජනගහනය බිලියන 7 සිට 8 දක්වා වර්ධනය වීම සඳහා වසර 12ක් ගත විය.

2022 නොවැම්බර් 15. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවා ගියේ එදිනයි.

"මෙම නොසිතූ විරූ ජනගහන වර්ධනය සිදුවුණේ, ක්‍රමයෙන් ඉහළ ගිය මහජන සෞඛ්‍යය, පෝෂණය, පෞද්ගලික සනීපාරක්ෂාව සහ ඖෂධ නිසයි. ඇතැම් රටවල සරුබව ඉතා ඉහළ අගයක පැවතීමත් ඊට හේතුවී තිබේ," එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

කෙසේ වෙතත්, එම සංවිධානය පැවසුවේ, බිලියන 7 සිට 8 ඉක්මවා යාමට වසර 12ක් ගත වුව ද, ඊළඟ බිලියනය ඉක්මවා යාමට වසර 15ක් ගත වනු ඇති බවය. ඒ, උපත් අනුපාතය මන්දගාමී තත්ත්වයක පැවතීම හේතුවෙනි.

'ලෝකය වෙනස් කරන' මැලේරියා එන්නත

ඡායාරූප මූලාශ්‍රය, Katie Ewer

ඡායාරූප ශීර්ෂ වැකිය, නව එන්නත අත්හදාබැලීම බුර්කිනා ෆාසෝහිදී සිදු කෙරිණි.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සැප්තැම්බර් මාසයේදී නිවේදනය කළේ, ඔවුන් "ලෝකය වෙනස් කරන" මැලේරියාවට එරෙහි එන්නතක් වැඩි දියුණු කර ඇති බවය. වසරකට ජනතාව ලක්ෂ 4ක් ජීවිතක්ෂයට පත් වන මැලේරියාවට එරෙහිව ලබන වසරේදී නිකුත් කිරීමට නියමිත එම එන්නත 80%ක් ඵලදායී බව අත්හදාබැලීම්වලින් තහවුරු වී ඇත.

එම විද්‍යාඥයින් පැවසුවේ, ඔවුන්ගේ එන්නත මිල අඩු එකක් බවය. මැලේරියාව යනු ලෝකයේ ළමා මරණවලට හේතු වන ප්‍රධාන සාධකයක් වන අතර මැලේරියාව අතිශය සංකීර්ණ රෝගයක් හේතුවෙන් ඊට එරෙහිව එන්නතක් නිපදවීම අතිශය දුෂ්කර කටයුත්තකි. එය නිරන්තරයෙන් වෙනස් වන ඉලක්කයක් වන අතර ඊට එරෙහිව එන්නත් කිරීම ඉතා අසීරුය.

ඔලිම්පික් සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ඉතිහාසය අලුතින් ලියූ ලිඩියුක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශීත සෘතු ඔලිම්පික් උළෙලකදී තරග වැදුණු ස්ත්‍රී පුරුෂ භාවය නොතැකූ පළමු තරගකරු බවට ලිඩියුක් (වමේ) පත් විය.

ශීත සෘතු ඔලිම්පික් උළෙලක ස්ත්‍රී පුරුෂභාවය නොතැකූ ක්‍රීඩකයෙකු බවට පත් වීමට අමෙරිකානු ස්කේටර් ක්‍රීඩක තිමති ලිඩියුක් සමත් විය. ඒ, පසුගිය පෙබරවාරි මාසයේදී චීනයේ පැවති ශීත සෘතු ඔලිම්පික් උළෙලේදීය.

ලිඩියුක් සහ ඇගේ සහකරු පදක්කමක් දිනා නොගත් අතර 7 වන ස්ථානය හිමි කර ගත්ත ද, ලෝකයට ඔවුන් බලපෑමක් කිරීමට සමත් විය.

ජේම්ස් වෙබ් දුරේක්ෂය නිසා අපි තවත් දුරක් සංචාරය කළෙමු

ඡායාරූප මූලාශ්‍රය, NASA

ඡායාරූප ශීර්ෂ වැකිය, JADES-GS-z13-0 යනු මෙතෙක් තහවුරු වී ඇති පරිදි "වැඩිම දුරකින් පිහිටි මන්දාකිණිය"යි

2022 වසරේ සිරස්තල තමන් නමින් ලියා ගැනීමට ජේම්ස් වෙබ් දුරේක්ෂය සමත් විය. ඒ, විශ්වයේ පුදුමසහගත ඡායාරූප එවීමෙනි.

ඒ අතරින් එක් ඡායාරූපයක් මෙතෙක් විශ්වයේ ගන්නා ලද ගැඹුරු ම ඡායාරූපය ලෙස සැලකෙයි. ඒ අතර මහා පිපිරුම සිදුවූ කාලයට සම්බන්ධකම් ඇති වසර බිලියන 13ක් වයසැති JADES-GS-z13-0 නමැති මන්දාකිණියේ ඡායාරූපයක් ද විය.

බොඳවූ පැල්ලමක් ලෙස පෙනෙන්නේ, රන්-සම්මත මිනුම් මගින් මෙතෙක් තහවුරු කර ඇති "වඩාත්ම දූරස්ථ මන්දාකිණිය" වේ.

අඳුරු සමක් සහිත පුද්ගලයෙකු පළමු වරට බ්‍රිතාන්‍යයේ අගමැති බවට පත්වීම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රිෂී සුනක් ඔක්තෝබර් 25 වන දා බ්‍රිතාන්‍යයේ අගමැති ධූරයට පත් විය.

2022 වසරේදී එක්සත් රාජධානිය වාර්තා කිහිපයක් පිහිටුවීය. අගමැති වාර්තා ද ඒ අතර විය. එරට අගමැති ධුරය දැරූ කෙටි ම කාලය වූයේ ලිස් ට්‍රස්ගේ දින 45ය. ඇගේ අනුප්‍රාප්තිකයා වූ රිෂී සුනක් වඩාත් ධනාත්මක සංධිස්ථානයක් බවට පත් විය. ඔක්තෝබර් 25 වන දා ඔහු එරට අගමැති ධූරයට පත් වූයේ එම ධූරයට පත් අඳුරු සමක් සහිත පළමු වැන්නා ලෙසය.

අන්වීක්ෂයක් නොමැතිව බැක්ටීරියා දැකගැනීම

ඡායාරූප මූලාශ්‍රය, Jean-Marie Volland

ඡායාරූප ශීර්ෂ වැකිය, ටී. මැග්නිෆිකා බැක්ටීරියාව විශාලත්වයෙන් සහ හැඩයෙන් මිනිස් ඇහිබැමකට සමානය.

ලෝකයේ විශාලතම බැක්ටීරියාව පසුගිය ජූනි මාසයේදී විද්‍යාඥයින් විසින් නිවේදනය කරන ලදී. තියෝමාගරිටා මැග්නිෆිකා නමැති එම බැක්ටීරියාව අන්වීක්ෂයක් නොමැතිව නැරඹිය හැකිය. එය මිනිසෙකුගේ ඇහිබැමක විශාලත්වයට සමානය. සෙන්ටි මීටරයක් දිගින් යුතු එම බැක්ටීරියාව වෙනත් යෝධ බැක්ටීරියාවලට වඩා 50 ගුණයකින් විශාල වේ. එමෙන් ම පියවි ඇසින් දැකිය හැකි පළමු බැක්ටීරියාව ද එයයි.