උතුරු කොරියානු සමාගම් වසා දැමීමට චීනයෙන් නියෝග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය හයවැනි න්‍යෂ්ටික පිපිරවීම හයිඩ්‍රජන් බෝම්බයක් යයි උතුරු කොරියාව පවසයි

චීනයේ පිහිටුවා ඇති සියලුම උතුරු කොරියානු සමාගම් වසා දමන ලෙස චීන බලධාරීන් විසින් එම සමාගම්වලට දැනුම් දී තිබේ.

චීනය කියා සිටින්නේ උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන් විසින් පනවනු ලැබ ඇති සම්බාධකවලට අනුව ක්‍රියාකරන බවය.

මේ අනුව ලබන ජනවාරි මාසය වන විට චීනය තුළ ඇති උතුරු කොරියානු සමාගම් සියල්ල වසා දැමෙනු ඇත. එමෙන්ම චීන - උතුරු කොරියානු හවුල් ව්‍යාපාර ද වසා දැමීමට බල කෙරෙනු ඇත.

උතුරු කොරියාවේ ප්‍රධාන මිත්‍ර රාජ්‍යය වූ චීනය දැනටමත් එරට සමඟ පැවති රෙදිපිළි වෙළඳාම අත්හිටුවා ඇති අතර ඛනිජ තෙල් අපනයනය ද සීමා කර තිබේ.

චීනය මෙම පියවර ගෙන ඇත්තේ උතුරු කොරියාව සිදුකළ හයවැනි න්‍යෂ්ඨික අත්හදා බැලීමට එරෙහිව ජාත්‍යන්තරය දක්වන ප්‍රතිචාරයේ කොටසක් ලෙසිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපදයට එරෙහිව ප්යෝන්යෑන්ග් අගනුවර පැවති විරෝධයක්

උතුරු කොරියාවට එරෙහිව ගෙන ආ අලුත්ම තහංචි මාලාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කළේය. චීනය ද එහි සාමාජිකයෙකි.

උතුරු කොරියාවට එරෙහි නව සම්බාධක සම්මත වුයේ සැප්තැම්බර් 11 වැනිදාය.

එදින සිට දින 120ක් ඇතුළත චීන දේශසීමාව තුළ පවතින සියලුම උතුරු කොරියානු සමාගම් වසා දැමෙනු ඇති බව චීනයේ වාණිජ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද ලෝකයෙන් හුදෙකලා වී සිටින උතුරු කොරියාවට තිබෙන විශාලතම වෙළඳ ගනුදෙනු පවතින්නේ චීනය සමඟ ය.

මෙම ගනුදෙනු නතර වුවහොත් උතුරු කොරියාවේ විදේශ විනිමය ආදායමට බලවත් පහරක් වනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මිසයිලය අත්හදා බලන ආකාරය නරඹන උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන්

ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර වාග් සංග්‍රාමය උත්සන්න වීම සහ උතුරු කොරියාව විසින් දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම් සිදු කිරීම හේතුවෙන් කලාපීය අර්බුදය එන්න එන්නම උණුසුම් විය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවට එරෙහිව "යුද්ධ ප්‍රකාශ" කර ඇති බවට උතුරු කොරියානු විදේශ ඇමතිවරයා පසුගිය දා චෝදනා කළේය.

උතුරු කොරියානු විදේශ ඇමති රි යොන්ග්-හෝ නිව්යෝර්ක් නුවරදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ඇමරිකානු ප්‍රහාරක යානා වෙඩි තබා බිම හෙළීමට උතුරු කොරියාවට අයිතියක් ඇති බවය.

එම ප්‍රකාශය සිදු කෙරුනේ ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් නිකුත් කර ඇති ට්විටර් පණිවිඩයකට ප්‍රතිචාරයක් වශයෙනි.

මෙම ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ "උතුරු කොරියාවේ විදේශ ඇමති එක්සත් ජාතීන් අමතන බව මට දැන් ආරංචි වුනා. ඔහු පුංචි රොකට් මෑන්ගේ අදහස් ප්‍රතිනාද කළහොත් ඔවුන් වැඩි කල් ඉන්න එකක් නැහැ" යනුවෙනි.