කාශ්මීරයේ ඉන්දු-පාකිස්තාන් හමුදා ගැටුම්

ඡායාරූප ශීර්ෂ වැකිය, කාශ්මීරය පුරා පවතින්නේ දැඩි ගැටුම්කාරී පරිසරයකි

ගැටුම්කාරී තත්වයක් පවතින කාශ්මීර් දේශ සීමාව ඔස්සේ ඉන්දියානු සහ පාකිස්තාන් හමුදා භටයන් හිටිඅඩියේ එල්ල කරගත් ප්‍රහාරවලින් හත්දෙනකු මරා දැමුණි.

මෙය මෑත භාගයේ දෙරටේ හමුදා අතර සිදු වූ ඉතා දරුණුම ගැටුමයි.

ඉන්දියානු හමුදාව විසින් එල්ල කරන ලද ෂෙල් ප්‍රහාර මගින් කාශ්මීරයේ සිය පාලනය සහිත කලාපයේ පස් දෙනකු මරණයට පත් වූ බව පාකිස්තාන් යුද හමුදාව පවසයි.

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇත

ෂෙල් ප්‍රහාරයක් නිවසකට පතිත වීමෙන් රාජකාරියෙන් බැහැරව එම නිවසේ සිටි හමුදා භටයකු සහ ඔහුගේ බිරිඳ මරණයට පත් වූ බව මේ අතර ඉන්දියානු හමුදාව කියා සිටියි.

කිසිදු කුපිතකාරී ක්‍රියාවකින් තොරවම සටන් විරාම පිළිවෙත කඩ කරනු ලැබීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා, පාකිස්තාන් විදේශ අමාත්‍යංශය ඉස්ලාමාබාද් නගරයේ සිටින නියෝජ්‍ය ඉන්දියානු කොමසාරිස්වරයා කැඳවන ලද බවක් ද වාර්තා වෙයි.

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය හමුදා භටයන්ට ගඩොල් මගින් පහර දෙන විරෝධතාවාදීන්

ඉහත කී හමුදා ප්‍රහාර වාර්තා වුනේ කාශ්මීර් සන්නද්ධ නායක බුර්හාන් වානි (Burhan Wani) මරණ සංවත්සරය යෙදීමත් සමඟ ඉන්දීය කාශ්මීරයේ පැතිර ගිය ප්‍රචණ්ඩ විරෝධතා ව්‍යාපාර මැඩලීමට ඉන්දියානු පොලිසිය යත්න දරමින් සිටින අතරයි.

මෙයින් වසරකට පෙර බුර්හාන් වානි මරණයට පත්වුණේ ඉන්දීය හමුදාවත් සමඟ සිදු වූ වෙඩි හුවමාරුවකදීය.