ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජර්මනියේ පාපන්දු කණ්ඩායමක් රැගත් බස් රථයකට ප්‍රහාරයක්
ජර්මනියේ ප්‍රමුඛ පෙළ පාපන්දු කණ්ඩායමක් රැගෙන ධාවනය වෙමින් තිබූ බස් රථයක් බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී තිබේ.
'බරුසියා ඩොර්ට්මුන්ඩ්' පාපන්දු කණ්ඩායම ගමන් ගත් බස් රථය බෝම්බ ප්‍රහාර තුනකට ගොදුරු වී ඇති අතර ඊට ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම්වල සම්බන්ධයක් ඇත්දැයි සොයා පරීක්ෂණ පවත්වන බව ජර්මනියේ මාධ්‍ය වාර්තා කරයි.
මාධ්‍ය හමුවක් කැඳවමින් ඩොර්ට්මුන්ඩ් පොලිස් ප්‍රධානියා කියා සිටියේ එය පාපන්දු කණ්ඩායම ඉලක්ක කොට එල්ල කරන ලද ප්‍රහාරයක් බවය.
ප්‍රහාරයට ලක්වන අවස්ථාවේ බරුසියා ඩොර්ට්මුන්ඩ් පාපන්දු කණ්ඩායම, මොනකෝ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරගයකට සහභාගී වීම සඳහා යමින් තිබිණි.
අතට හානි සිදු වීම හේතුවෙන් පාපන්දු ක්‍රීඩක මාක් බාට්‍රා ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර සෙසු ක්‍රීඩකයන් තුවාල ලබා නොමැත.
ක්‍රීඩකයෙකුට තුවාල
ප්‍රහාර සිදු වූ ස්ථානයේ තිබූ හමු වූ ලිපියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ජර්මනියේ නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය දෙසැම්බරයේ බර්ලින් නගරයේ නත්තල් වෙළෙඳපොළකට එල්ල වූ ප්‍රහාරය සහ සිරියාවේ ක්‍රියාත්මක හමුදා මෙහෙයුම් පිළිබඳ එම ලිපියේ සඳහන් වන බවත් වාර්තා වේ.
"අල්ලා දෙවියන්ගේ නාමයෙන්" යනුවෙන් සඳහන් වැකියකින් ලිපිය ආරම්භ කොට ඇති බව ජර්මනියේ 'Suddeutsche Zeitung' පුවත්පත වාර්තා කරයි.
අයිඑස් සංවිධානයට එරෙහිව මිත්‍ර හමුදා විසින් ක්‍රියාත්මක කරනු ලබන සටන් සඳහා ජර්මනිය ටෝනාඩෝ ජෙට් යානා යොදා ගැනීම පිළිබඳවත් එහි සඳහන් වන බව 'Suddeutsche Zeitung' පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේය.