ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සරත් ගනේගොඩ සහ රොහාන් ගුණතිලක ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙති
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සභාපති සරත් ගනේගොඩ හෙට (2026 මාර්තු 31 දින) සිට බලපැවැත්වෙන පරිදි එම අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉල්ලා අස්වී තිබේ.
ඊට අමතරව, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ අධ්‍යක්ෂ රොහාන් ගුණතිලක ද එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වී ඇත.
මොවුන් දෙදෙනාම, ව්‍යාපාරික ධම්මික පෙරේරාට වැඩි කොටස් අයිතියක් ඇති හේලීස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන් වෙති.
සරත් ක්ලෙමන්ට් ගනේගොඩ සහ අධ්‍යක්ෂ එරංග රොහාන් පීරිස් ගුණතිලක 2024 ඔක්තෝබර් 09 වන දා සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අනුයුක්ත කර සිටි අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළහ.
ඔවුන් දෙදෙනා ම තවමත් හේලීස් පීඑල්සී සමාගමේ සේවය කරන අතර, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කිරීම වෙනුවෙන් වැටුපක් නොලබන බව මීට පෙර සඳහන් කර තිබිණි.
භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නව සභාපතිවරයෙකු පත් කරන තෙක්, ඒ.කේ. ඩී.ඩී. ඩිමාල් අරන්දර ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රීලංකන් කේටරින් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලවල වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේය.
සරත් ගනේගොඩ සහ රොහාන් ගුණතිලක ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩල ධුර කාලය තුළ ලබා දුන් දායකත්වයන් අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරිත්වය අගය කරන බව එම නිවේදනයේ දැක්වෙයි.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය
මොවුන් දෙදෙනාගේ ඉල්ලා අස්වීම් සමඟ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය මෙසේය.
- ඒ. කේ. ඩී. ඩී. ඩිමල් අරන්දර- වැඩබලන සභාපති සහ භාණ්ඩාගාර නියෝජිත
- Flt./ Lt. (විශ්‍රාමික) සුගත් රාජපක්ෂ
- විපුල ගුණතිලක
- ආචාර්ය හර්ෂ කබ්රාල්
- දුමිත් ප්‍රනාන්දු
- සෙනරත් ලියනගේ
ශ්‍රීලංකන් කේටරින් මණ්ඩලයේ වර්තමාන සංයුතිය
- ඒ. කේ. ඩී. ඩී. ඩිමල් අරන්දර- වැඩබලන සභාපති සහ භාණ්ඩාගාර නියෝජිත
- Flt./ Lt. (විශ්‍රාමික) සුගත් රාජපක්ෂ
- විපුල ගුණතිලක
- ආචාර්ය හර්ෂ කබ්රාල්
- දුමිත් ප්‍රනාන්දු
SriLankan ගුවන් සේවය
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙසින් ක්‍රියාත්මක වන ශ්‍රී ලන්කන් ගුවන් සේවය 1979 වසරේදී ආරම්භ කරන ලදී.
එය, රටවල් 62ක ගමනාන්ත 114ක් කරා ගුවන් සේවා ක්‍රියාත්මක කරයි.
අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවාව වන SriLankan ගුවන් සේවය සම්බන්ධයෙන් නව තීරණයකට එළඹිණි.
ඒ, එම ගුවන් සේවය පෞද්ගලීකරණය නොකර ජාතික ගුවන් සේවය වශයෙන් තවදුරටත් පවත්වාගෙන යාමට ය.
මීට පෙර, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දැරූ සමයේ තීරණය කර තිබුණේ, ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට ය.
ඒ අනුව, යළිත් ශ්‍රීලංකන් ගුවන් සමාගම "රාජ්‍ය මූල්‍යවලට බරක් නොවන තිරසර ව්‍යවසායන් නිර්මාණය කිරීම" අරමුණු කර ගනිමින් පෞද්ගලිකරණය කිරීම සඳහා 'රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයට' (SRU) භාර දී තිබිණි.
හේලීස් සමාගම ඇතුළු සමාගම් 6කින් ලංසු
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් මිල දී ගැනීම සඳහා වන ලංසු ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය 2024 අප්‍රේල් මස 22 වන දා අවසන් වූ අතර, සමාගමේ කොටස් මිල දී ගැනීම සඳහා පාර්ශව 6කින් ලංසු ඉදිරිපත් වී තිබිණි.
එම සමාගම් 6 මෙසේ ය.
1. AirAsia Consulting Sdn. Bhd.
2. Dharshaan Elite Investment Holding (Pvt) Ltd
3. FITS Aviation (Private) Limited
4. Sherisha Technologies Private Limited
5. Treasure Republic Guardians Limited
6. Hayleys PLC
සරත් ක්ලෙමන්ට් ගනේගොඩ
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ කේටරින් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ සරත් ක්ලෙමන්ට් ගනේගොඩ හේලීස් පීඑල්සී සමාගමේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වන අතර, හේලීස් බිස්නස් සොලියුෂන්ස් ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයෙකි.
ඊට අමතරව, හේලීස් ෆෙන්ටන්ස් සමාගමේ ද අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරයි.
2007 වසරේදී හේලීස් සමූහයට නැවත එක්ව ඇති ඔහු 2009 වසරේදී සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළත් කෙරිණි.
එරංග රොහාන් පීරිස් ගුණතිලක
එරංග රොහාන් පීරිස් ගුණතිලක හේලීස් ෆැබ්රික් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක අධ්‍යක්ෂ ධූර දරයි.
ඔහු හේලීස් ෆැබ්රික් සමාගමට එක්වූයේ, 2013 මාර්තු මාසයේදී ය.
එම මාසයේම ඔහු සමූහ කළමනාකරණ කමිටුවට පත් කරන ලද බව හේලීස් සමාගමේ වෙබ් අඩවියේ දැක්වෙයි.