වනිදු ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන්ට මෙවර IPL අහිමි වෙයි ද? ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුවහොත් කුමක් සිදු වෙයි ද?

    • Author, දිනුක් හේවාවිතාරණ
    • Role, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට ඉල්ලුම් කර ඇති ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනිවාර්ය ශාරීරික කාර්ය සාධන පරීක්ෂණය සාර්ථකව සමත් වූ පසු පමණක් විරෝධතා නොමැති සහතිකයක් (NOC) නිකුත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළේය.

වර්තමානයේ, සියලුම ජාතික ගිවිසුම්ගත ක්‍රීඩකයින් සඳහා සති අටක විශේෂිත ශාරීරික පුහුණු වැඩසටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන බවත් ඉදිරි ජාත්‍යන්තර තරග සඳහා සූදානම් වීම සඳහා ක්‍රීඩකයින්ගේ ශාරීරික කාර්ය සාධන ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවැනි නිවේදනයක් නිකුත් කිරීමට හේතුව කුමක් ද?

'ෆිට්නස් ටෙස්ට් එක ෆේල් වුණු ක්‍රීඩකයින් පිරිසක් හිටියා'

නියමිත කාල සීමාවක් යටතේ කිලෝමීටර් 2ක දුරක් දිවීම ඇතුළු අදියර 05ක් යටතේ සිදුකරන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේදී ලබාදෙන ලකුණු 29න් ලකුණු 17ක් ලබා ගැනීම ක්‍රීඩකයින්ට පැවරෙන අභියෝගය වේ.

ඒ අනුව ශාරීරික කාර්ය සාධන පරීක්ෂණයට සහභාගී වූ ක්‍රීඩකයින් 46 දෙනෙකුගෙන් අවම කාර්ය සාධක මට්ටම වූ ලකුණු 17ක් ලබා ගැනීමට සමත්ව ඇත්තේ ක්‍රීඩකයින් 27 දෙනෙක් බව මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කියා සිටියේ ඉකුත් පෙබරවාරි මාසයේදී පවත්වන ලද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් මෙම ක්‍රීඩකයින් අසමත් වූ බවයි.

''අන්තිමටම ෆිට්නස් ටෙස්ට් එක කළේ පෙබරවාරි වලදී. එතැනදී තමයි ඔය කියන ක්‍රීඩකයින් ගණනක් ෆේල් වුණේ. දැන් අපි ඒ නිසා ෆිට්නස් ට්‍රේනින් සෙෂන් එකක් පටන් අරන් තියෙනවා. ඒක ඉවර වෙලා අලුත් ෆිට්නස් ටෙස්ට් එක අප්‍රේල් මාසයේදී කරන්න ඉන්නේ.'' ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවරයා පැවසුවේය.

මේ දක්වා IPL යන්න වරම් නොලැබූ ක්‍රීඩකයින් කවුද?

ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්වූ ක්‍රීඩකයින්ට විදෙස් රටවල පැවැත්වෙන ලීග් තරග සඳහා එක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදෙන විරෝධතා නොමැති සහතිකය (NOC) නිකුත් නොකිරීමට ගත් තීරණය හේතුවෙන් මෙරට ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රධන පෙළේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට මෙවර IPL තරගාවලියට එක්වීමට ඇති අවස්ථාව පිළිබඳ අවිනිශ්චිතතාවයක් මතු ව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා වන වනිදු හසරංග මෙන්ම මතීෂ පතිරණ සහ නුවන් තුෂාර ඒ අතර සිටිති.

ඉකුත් විස්සයි 20ලෝක කුසලාන තරගාවලියේදී වනිදු හසරංග සහ මතීෂ පතිරණ ආබාධයන්ට ලක්විය.

ඒ අනුව මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 18 කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක මතීෂ පතිරණ සහ ඉන්දියානු රුපියල් කෝටි 02 කට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් මිලදී ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග ශාරීරික කාර්ය සාධන පරීක්ෂණය සමත් වී නොතිබීම හේතුවෙන් IPL තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය වන විරෝධතා නොමැති බවට සඳහන් වන NOC ලිපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිකුත් කර නැත.

එමෙන්ම IPL තරගාවලියට සහභාගී වීම සඳහා නුවන් තුෂාරගේ විරෝධතා නොමැති බවට වන සහතිකය (NOC) සඳහා සුදුසුකම් ලැබීම ඔහුගේ ශාරීරික කාර්ය සාධන පරීක්ෂණයේ ප්‍රතිඵලයට යටත්ව සිදුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ශාරීරික කාර්ය සාධන පරීක්ෂණ සාර්ථකව අවසන් කළ දුෂ්මන්ත චමීර, පැතුම් නිස්සංක, ඒෂාන් මාලිංග සහ කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩකයින්ට IPL තරගාවලියට සහභාගී වීමට විරෝධතා නොමැති බවට දැක්වෙන NOC සහතිකය නිකුත් කර ඇති බවය.

පකිස්ථානයේ පැවැත්වෙන PSL ක්‍රිකට් ලීග් තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්වූ කුසල් මෙන්ඩිස් සහ මහීෂ් තීක්ෂණ සම්බන්ධයෙන් විරෝධතා නොමැති බවට වන සහතික (NOC) නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබිණි.

'ෆිට්නස් ටෙස්ට් එකට වනිදු ආවේ නැහැ'

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ශාරීරික යෝග්‍යතා වැඩසටහනට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා වන වනිදු හසරංග එක් නොවීම නිසා ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවට වාර්තා පළව ඇත.

මේ පිළිබඳව බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ වනිදු හසරංග ශාරීරික යෝග්‍යතාවන්ට නොපැමිණෙන බවය.

''විනය නෙමෙයි එයා ෆිට්නස් වලට ඇවිල්ලා නැහැ. ඉතින් මම ඒ ගැන ඉන්ෆෝර්ම් කළා වනිදු ෆිට්නස් වලට එන්නේ නැහැ කියලා." ඔහු පැවසුවේය.

චමින්ද වාස්ගෙන් ක්‍රිකට් ආයතනයට චෝදනාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙක් මෙන්ම පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කළ චමින්ද වාස් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා එල්ල කර තිබේ.

ඔහු සිය සටහනෙන් දක්වා තිබුණේ ගතවූ වසර 04 ක කාලය තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ යෝග්‍යතා ප්‍රමිතීන් නොසලකා හැර තිබෙන බවය.

"පසුගිය වසර හතර තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ යෝග්‍යතා ප්‍රමිතීන් නොසලකා හැර තිබෙනවා. මම බොහෝ වාරයක් සඳහන් කර තිබෙනවා, ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් යෝග්‍යතාවය අතිශයින් වැදගත් වනවා කියලා. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. ඒත් වසර ගණනාවක් එය නොසලකා හැරලා IPL තරගාවලියට පෙර හදිසියේම ශාරීරික යෝග්‍යතා ගැන දැඩි ප්‍රමිතීන් ක්‍රියාත්මක කරන්න බැහැ. ක්‍රීඩකයෙකුට මඟ හැරෙන ඒ අවස්ථාව නිසි විනයගත කිරිමකට වඩා නරක සැලසුම් කිරීමක් විදිහට දැනෙන්න පුලුවන්." චමින්ද වාස් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබේ.