ටිලර්සන් චීනයේ;උතුරු කොරියාවෙන් තවත් 'පිම්මක්'

ඡායාරූප මූලාශ්‍රය, AP

උතුරු කොරියානු හමුදාව ඉහළ තාක්ෂණයකින් යුත් නව රොකට් එන්ජිමක් අත්හදා බැලූ බව එරට රජයේ මාධ්‍ය වාර්තා කරයි.

එම අත්හදාබැලීම රටේ රොකට් කර්මාන්තයේ "නව උපතක්" ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් විසින් ප්‍රකාශයට පත් කරන ලද බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ඉතා ඉහළ මට්ටමේ චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ ඉලක්කය ජය ගැනීමට නව රොකට් එන්ජිම උපකාරී වනු ඇති බවත් නායක කිම් ජොන්ග් අන් වැඩිදුරටත් කියා සිටියේය.

වෙනත් කිසිදු පාර්ශවයක් විසින් අදාළ අත්හදාබැලීම තහවුරු කරනු ලැබ නැති අතර,නව රොකට් එන්ජිම පිළිබඳව ප්‍රකාශයට පත් වූයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්, උතුරු කොරියාවේ ප්‍රධාන මිත්‍ර රට ලෙස සැලකෙන චීනයේ සංචාරයක නිරතව සිටියදීය.

චීනය සහ ඇමරිකාව

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, අලුතින් අත්හදාබැලූ රොකට් එන්ජිමේ බව පැවසෙන ඡායාරූප රජයේ මාධ්‍ය ඔස්සේ විකාශනය විය

උතුරු කොරියාවේ න්‍යෂ්ටික ශක්තිය සම්බන්ධයෙන් මතුවෙමින් පවතින දැඩි අවධානය ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ නැගෙනහිර ආසියානු සංචාරයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබේ.

මේ අතර බීජිං නුවර දී අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේ, ජනාධිපති ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පින්ග් හමු වීමේ බලාපොරොත්තුවෙන් සිටින බවය.

එම හමුවෙන් දෙරට අතර පවතින අවබෝධය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තුවන බවත් ඔහු පැවසීය.