රෝහින්ග්‍යා ආධාර නැවට 'බෞද්ධයන්ගෙන්' බාධා

ඡායාරූප ශීර්ෂ වැකිය, මියන්මාරයේ රෝහින්ග්‍යා අනාථයන්

මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා සඳහා ආධාර රැගත් මැලේසියානු නැවක් 'යන්ගොන්'(Yangon) නගරය අසල වරායක නතර කිරීමට සිදුවිය.

ආධාර රැගත් එම නැව වරායේ නතර කිරීමට සිදුවුනේ බෞද්ධ කණ්ඩායමකින් එල්ල කෙරුණ විරෝධය හේතුවෙනි.

මියන්මාරයේ කැරලිකරුවන්ට එරෙහිව යුද හමුදාව විසින් ගෙනයන මෙහෙයුමක ගොදුරු බවට පත් රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා වෙනුවෙන් එම ආධාර තොගය ප්‍රවාහනය කෙරෙමින් තිබුණි.

මියන්මාර් හමුදා භටයන් ස්ත්‍රී දූෂණ සහ මිනිස් ඝාතන සිදුකරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කරනු ලැබීමත් සමඟ එම යුද හමුදා මෙහෙයුම දැඩි විවේචනයට ලක්වෙමින් ඇත.

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝහින්ග්‍යා විරෝධී බෞද්ධ උද්ඝෝෂණයක්

සුළු ජනකොටසක් වන රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් මියන්මාරය තුළ ජනප්‍රිය නොවන ප්‍රජාවකි.

ඔවුන්ට ආධාර රැගත් මැලේසියානු නැවට බාධාකළ එක් විරෝධතාවාදියෙක් 'රෝහින්ග්‍යා ජනයාට මියන්මාරයේ තැනක් නැතැයි' හඬ නැගීය.