කැනඩාවේ මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

කැනඩාවේ කුබෙක් නගරයේ පිහිටි මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනෙකු මරුමුවට පත් වී ඇති බව එරට පොලිසිය පවසයි.

ප්‍රහාරයේදී තවත් පුද්ගලයන් අට දෙනෙක් තුවාල ලැබුහ.

ප්‍රහාරය හෙළා දකින කැනඩාවේ අගමැති ජස්ටින් ට්රූඩෝ විසින් එය හඳුන්වනු ලැබුවේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසය.

ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

සන්ට් ෆුවා ප්‍රදේශයේ පිහිටි ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයට අයත් දේවස්ථානයේ පස්වරු දේව මෙහෙයට ආසන්නයේදී තුවක්කුකරුවෝ ප්‍රහාරය එල්ල කළහ.

ඡායාරූප මූලාශ්‍රය, AFP

එම අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ දස දෙනෙකුට අධික පිරිසක් සිටි බව වාර්තාවේ.

පසුගිය වසරේ රාමදාන් උත්සව සමය අතරතුර මෙම දේවස්ථානය පිහිටි ගොඩනැගිල්ල ඉදිරිපිට ඌරෙකුගේ හිසක් අතහැර ගොස් තිබිණි.