ට්‍රම්ප්ගෙන් පූතින්ට ලැබුණු පළමු ඇමතුම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පුතින් ඇතුළු ලෝක නායකයන් ගණනාවක් සමග ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා (ජන.28) දුරකථනය ඔස්සේ සම්බන්ධ විය.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සහ 'සෙසු ත්‍රස්ත කණ්ඩායම්' ඇතුළු 'ජාත්‍යන්තර ත්‍රස්තවාදයට' එරෙහිව සටනට ප්‍රමුඛත්වය ලබාදීම සඳහා දෙපාර්ශවයම එකඟවූ බව රුසියාව පවසයි.

'පළුදු වී ඇති සබඳතා' යථා තත්වයට පත්කර ගැනීම සඳහා මෙම දුරකථන ඇමතුම 'සුවිශේෂී ආරම්භයක්' වූ බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එවකට ජනාධිපති අපේක්ෂකයාව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පුතින් අතර පවතින සබඳතා මැතිවරණ වේදිකාව තුළ දැඩි කතාබහට ලක් විය

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ජපානය, ජර්මනිය, ප්‍රංශය සහ ඔස්ට්‍රේලියාව යන රටවල නායකයන් සමග ද දුරකථනය ඔස්සේ සම්බන්ධ විය.

ඉංග්‍රීසි භාෂාවෙන් නිවේදනයක් නිකුත් කරමින්, ක්‍රෙම්ලින් පාලනය දෙරටේ නායකයන් අතර නිල වශයෙන් පැවති පළමු දුරකථන සංවාදය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ප්‍රකාශයට පත් කොට තිබේ.

දෙරටේ නායකයන් අතර 'ධනාත්මක සහ සාධනීය' සංවාදයක් පැවති බවත් ක්‍රෙම්ලිනය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.