"ට්‍රම්ප්ගේ මෙක්සිකෝ තාප්පය ජීවිත විනාශ කරාවි"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකාව සහ මෙක්සිකෝව අතර දේශ සීමාව

"හුදකලා මාර්ගයක ගමන් නොකරන" ලෙස බර්ලිනයේ නගරාධිපති මයිකල් මුලර් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියි.

නගරාධිපතිවරයා එම ඉල්ලීම සිදු කළේ ඇමරිකාව සහ අසල්වැසි මෙක්සිකෝව අතර දේශ සීමාව වෙන් කරමින් තාප්පයක් බැඳීම සඳහාවන සැලසුම පිළිබඳ අදහස් දක්වමිනි.

එවැනි බෙදීමක් "වහල්භාවයට සහ වේදනාවට" හේතු විය හැකි බවට අනතුරු අඟවන නගරාධිපති මයිකල් මුලර් ඒ හරහා "දසලක්ෂ ගණනක ගේ ජීවිත විනාශ විය හැකි" බව පෙන්වා දුණි.

1961 වසරේ සිට 1989 දක්වා වූ කාල සීමාව තුළ ජර්මනියේ බර්ලින් නගරය තාප්පයකින් වෙන් වී පැවතිණි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, බර්ලින් තාප්පය (1986 වසරේ ගනු ලැබූ ඡායාරූපයක්)

දෙරට දේශ සීමා අතර තාප්පයක් බැඳීම මුල් කරගනිමින් මතු වී තිබෙන මතභේද සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙක්සිකෝවේ ජනාධිපති එන්රික් පේනා නියෙටෝ එකඟතාව පළ කළහ.

අසල්වැසි මෙක්සිකෝව අතර වූ දේශ සීමාව වෙන් කරමින් තාප්පයක් බැඳීම ජනාධිපති ට්‍රම්ප් විසින් ලබා දෙනු ලැබූ ප්‍රධාන මැතිවරණ පොරොන්දු අතරින් එකකි.

එම තාප්පය බැඳීම සඳහා මෙක්සිකෝව මුදල් ලබා නොදෙන බව එරට ජනාධිපතිවරයා දිගින් දිගටම අවධාරණය කළේය.