ට්‍රම්ප්ට එරෙහිව ලොව පුරා කාන්තාවෝ උද්ඝෝෂණයේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිඩිනි නුවර පැවති උද්ඝෝෂණයට 3000 කට ආසන්න පිරිසක් සහභාගි වූහ

ඇමෙරිකාවේ 45 වෙනි ජනාධිපතිවරයා ලෙසින් සිකුරාදා සවස දිවුරුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ලොව පුරා රටවල් ගණනාවක කාන්තාවෝ උද්ඝෝෂණවල නිරතව සිටිති.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ජපානයේ දැනටමත් උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබේ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති උද්ඝෝෂණයට තුන්දහසකට ආසන්න පිරිසක් සහභාගි වූ අතර, කාන්තා විරෝධියකු බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා කරමින් ඔවුහු සිඩ්නි නුවර එක්සත් ජනපද කොන්සල් කාර්යාලය වෙත ගමන් කළහ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නවසීලන්තයේ එක් උද්ඝෝෂණයක්

සෙනසුරාදා දිනය පුරා ලොව පුරා 700 කට ආසන්න ස්ථානවල 'සොහොයුරියන්ගේ විරෝධය' නම් උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතයි.

සෙනසුරාදා සවස වොෂින්ටනයේ ආරම්භවීමට නියමිත උද්ඝෝෂණයට දස දහස් සංඛ්‍යාත පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලන්ඩන් නුවරදීත් දහස් ගණන් කාන්තාවන් ට්‍රම්ප් විරෝධී රැලියට සහභාගි වනු ඇතැයි අපේක්ෂිත අතර ලන්ඩනයේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපස සිකුරාදා රාත්‍රියේත් කාන්තාවෝ විරෝධතාවයක නිරතව සිටියහ.

ඇමෙරිකාවේ නගර ගණනාවක ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂණ පැවති අතර, සියැට්ල් නගරයේ පැවති උද්ඝෝෂණයේදී එක් පුද්ගලයෙක් වෙඩි වැදී තුවාල ලැබුවේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලන්ඩනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපස සිකුරාදා රාත්‍රියේ කාන්තාවෝ විරෝධතාවයක