CIA වාර්තාවට රුසියාවෙන් පිළිතුරු

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් කිරීම සඳහා හැකරුන් යොදා ගත් බවට එල්ල කරන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි.

රුසියානු ආණ්ඩුවේ ප්‍රකාශකයෙකුවන දිමිත්‍රි පෙස්කොෆ් කියා සිටියේ මොස්කව් පාලනය එම චෝදනාව ඕනෑවටත් වඩා අසා ඇති බවය.

ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඩොනල්ඩ් ට්‍රම්ප්ට වාසි සහගතවන අයුරින් හැසිරවීම සඳහා වෙබ් අඩවිවලට රහසින් ඇතුළු වූ රුසියානු හැකරුන් උත්සාහ කොට ඇති බව සඳහන් කරමින් ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය (CIA) පසුගියදා වාර්තාවක් නිකුත් කළේය.

රුසියාවට චෝදනා කරමින් බුද්ධි අංශ විසින් නිකුත් කරන ලද එම වාර්තාව 'පදනම් විරහිත' වාර්තාවක් බවයි, දිමිත්‍රි පෙස්කොෆ් පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩිමොක්‍රටික් පක්ෂ ඊමේල් ගිණුම් තුලට රහසින් ඇතුළුවන ලෙස රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් නියෝග කර ඇති බවට බුද්ධි අංශ වාර්තාවෙන් චෝදනා කරයි

ඇමරිකානු ජනාධිපති ධුරය සඳහා තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සිකුරාදා බුද්ධි අංශ වාර්තාව ලබා දීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් රුසියාවේ නිල ප්‍රතිචාරය පළ වූ පළමු අවස්ථාව මෙයයි.

ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන්ට අවාසි සහගත තත්වයක් නිර්මාණය කිරීම සහ ජනාධිපතිවරණයට බලපෑම් කිරීමේ අරමුණින් ඩිමොක්‍රටික් පක්ෂ ඊමේල් ගිණුම් තුලට රහසින් ඇතුළුවන ලෙස රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් නියෝග කර ඇති බවට බුද්ධි අංශ වාර්තාවෙන් චෝදනා කොට තිබේ.