බර්ලින් ප්‍රහාරය: "ත්‍රස්ත ක්‍රියාවක් විය හැකියි"

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, අනතුරින් එහි සිටි පුද්ගලයන් දොළොස් දෙනෙකු මරුමුවට පත් වී තවත් හතළිස් අට දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති

ජර්මනියේ බර්ලින් අගනුවර නත්තල් වෙළඳපොළක් තුළට ට්‍රක් රථයක් පදවනු ලැබීම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැක කොට පරීක්ෂණ පවත්වන බව එරට පොලිසිය පවසයි.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ වෙළඳපොළ තුළ සිටි සාමාන්‍ය වැසියන් දෙසට සිතා මතාම ට්‍රක් රථය පදවා ඇති බවය.

අනතුරින් එහි සිටි පුද්ගලයන් දොළොස් දෙනෙකු මරුමුවට පත් වී තවත් හතළිස් අට දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති.

ට්‍රක් රථයේ රියදුරු වශයෙන් සැක කෙරෙන පුද්ගලයෙකුගෙන් පොලිසිය ප්‍රශ්න කරමින් සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඔහු ඇෆ්ගනිස්තානයේ හෝ පාකිස්තානයේ සිට දේශපාලන රැකවරණය පතා ජර්මනියට පැමිණි සරණාගතයෙකු බවත් වාර්තා වේ.

පෝලන්තයේ ලියා පදිංචි කරන ලද අංක තහඩු සහිත ට්‍රක් රථයේ මගී ආසනයේ සිටි පෝලන්ත ජාතිකයෙකු ද තුවාල ලැබීම හේතුවෙන් මරුමුවට පත් වී තිබේ.

ට්‍රක් රථයේ වේගය අඩු නොකොට බර්ලින් නගර මධ්‍යයේ පිහිටි කාර්යබහුල වෙළඳපොළ වෙත ධාවනය වූ බව ඇසින් දුටුවෙක් කියා සිටියේය.