රෝහින්ග්‍යා: බංග්ලාදේශය මියන්මාර තානාපති කැඳවයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දේශ සීමා ඔස්සේ නීති විරෝධී ලෙස බංග්ලාදේශයට ඇතුළු වී රැඳවුම් භාරයට පත් රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් කණ්ඩායමක්

දහස් ගණනක් රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට සිය ගම් බිම් හැර දමා බංගලාදේශය වෙත පළා ඒමට බල කෙරෙන මියන්මාර හමුදා ප්‍රහාර සම්බන්ධයෙන් අවධානය පළ කිරීම සඳහා බංගලාදේශ විදේශ අමාත්‍යංශය විසින් සිය අසල්වැසි මියන්මාරයේ තානාපතිවරයා කැඳවනු ලැබ ඇත.

මියන්මාර හමුදා මෙහෙයුම්, බංගලාදේශයට සහ සරණාගතයන්ට දරුණු විපාක ගෙන දීමට මුල් වී ඇති බව බංගලාදේශ විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් විශාල සංඛ්‍යාවක් දේශ සීමා ඔස්සේ බංගලාදේශය වෙත පැමිණ ඇති අතර එසේ පැමිණි ඇතමුන් බලහත්කාරයෙන් නැවත පිටත් කරනු ලැබ තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දේශසීමාවට නුදුරු රඛින් පළාතේ රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව වෙසෙන කඳවුරක්

සුළුතරයක් වන රෝහින්ග්‍යා වැසියන්ට අයත් ගම්මාන ගිනි බත් කරන බවට සහ නැවත පැමිණෙන පුද්ගලයන් මරා දමන බවට එල්ල වන චෝදනා මියන්මාරය ප්‍රතික්ෂේප කරයි.