ඇමරිකානු ජනපතිවරණය: ට්‍රම්ප් ඉදිරියෙන්

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් සහ පවුලේ සාමාජිකයන් ඡන්ද ප්‍රතිඵල නරඹමින්

ඇමරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටියි.

ඒ අනුව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ලබා ගෙන ඇති නියෝජිත ඡන්ද සංඛ්‍යාව අභිබවමින් ඩොනල්ඩ් ට්‍රම්ප් හිමි කර ගෙන සිටින නියෝජිත ඡන්ද සංඛ්‍යාව 278කි.

ඇමරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා යම් අපේක්ෂකයකු නියෝජිත ඡන්ද 270 ක් හිමි කර ගත යුතු වේ.

ජනපතිවරණ සටනේ පසුබා සිටින හිලරි ක්ලින්ටන් මේ වන විට ලබා ඇත්තේ නියෝජිත ඡන්ද 218 ක් පමණි.

ඡායාරූප ශීර්ෂ වැකිය, කනස්සල්ලට පත් හිලරි ක්ලින්ටන් පාක්ෂිකයින්

ජනාධිපතිවරණ ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ යැයි සැලකෙන ෆ්ලොරිඩා, ඔහායෝ, උතුරු කැරොලිනාව සහ ආයොවා යන ප්‍රාන්ත ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජය ගනු ලැබ ඇත.

ට්‍රම්ප් කඳවුරේ ආධාරකරුවන් සහ පාක්ෂිකයින් දැනටමත් උද්දාමයෙන් පසු වන අතර ක්ලින්ටන් ආධාරකරුවන් කනස්සල්ලට පත්ව ඇති ස්වභාවයක් දක්නට ලැබේ.

එක්සත් ජනපදය පුරා ඉතා ඉහළ මට්ටමකින් ඡන්දය ප්‍රකාශ කිරීම සිදු වී ඇති බව වාර්තා වේ.