'යටත්වීම හෝ මරණය' - ඉරාක අගමැති IS කැරලිකරුවන්ට දන්වයි

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරාක හමුදා වෙත කුර්දි සහ සුන්නි අරාබි වාර්ගික කණ්ඩායම් නියෝජනය කරන හමුදා සහාය ලබා දෙති

ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් අත පවතින අවසන් බලකොටුව වන මෝසුල් නගරය කරා ඉරාක විශේෂ හමුදා ළඟා වෙමින් සිටිති.

රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ජාතිය ඇමතූ ඉරාක අගමැති හයිදර් අල් අබාදි මෝසුල් නගරයේ සිටින අයිඑස් කැරලිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ආයුධ බිම තබා සිය හමුදා වෙත යටත් වන ලෙසය.

"ඔවුන්ට වෙනත් විකල්පයක් නැහැ. යටත් වෙන්න පුළුවන් නැතිනම් ඔවුන්ට මිය යා හැකියි." අගමැතිවරයා සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මෝසුල් නගරය ආසන්නයේ පිහිටි ගම්මානයකට ඇතුළු වූ ත්‍රස්ත මර්දන හමුදා භට කණ්ඩායම්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මෝසුල් නගරයේ නැගෙනහිර කලාප සීමාවට කිලෝමීටරයක් දුරින් සිට ප්‍රහාර එල්ල කරන ඉරාක හමුදා නගරයට ඇතුළු වීමට සුදානම් වෙමින් සිටිති.

ඉදිරියට ඇදෙමින් බලය තහවුරු කර ගනිමින් සිටින ඉරාක හමුදා වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන අයිඑස් කැරලිකරුවෝ පුපුරන ද්‍රව්‍ය පිරවූ මෝටර් රථ යොදා ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරති.

ඉදිරියට ඇදෙන ඉරාක හමුදා වෙත ගුවනින් සහාය ලබා දෙන ඇමරිකාව ප්‍රමුඛ සන්ධානය අයිඑස් ගොඩනැගිලි ඉලක්ක කොට ගුවන් ප්‍රහාර හතරක් හෝ පහක් එල්ල කොට තිබේ.

අයිඑස් කැරලිකරුවන් විසින් මෝසුල් නගරය අල්ලා ගනු ලැබුවේ මීට වසර දෙකකට ඉහතදී.