අලි දඩයම: අප්‍රිකානු රටවල් අතර මතභේදයක්

ඡායාරූප ශීර්ෂ වැකිය, වන අලියකුට GPS කර පටියක් පළඳවන වනජීවී නිලධාරීන්

ඇත් දළ වෙළඳාම සම්බන්ධයෙන් පවතින සීමා ඉවත් කිරීම සඳහා සිය අසල්වැසි රටවල් ගනු ලබන උත්සාහයට සහාය ලබා නොදෙන බව බොට්ස්වානා රජය පවසයි.

ලොව විශාලතම අලිඇතුන් ගහනයක් සහිත රට බොට්ස්වානා රාජ්‍යයයි.

ඇත් දළ වෙළඳාමට ඇති අයිතිය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව, නැමීබියාව සහ සිම්බාබ්වේ යන රටවල් මේ සතිය අග පැවැත්වෙන ජාත්‍යන්තර වනජීවී සමුළුවේ දී කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.

දරුණු ලෙස අලිඇතුන් දඩයම් කෙරෙන රටවල් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය හා සමාන ප්‍රතිපත්තියක් විශාල අලිඇතුන් ගහනයක් වෙසෙන රටවල් සම්බන්ධයෙන් අනුගමනය නොකළ යුතු බවයි ඉහත කී රටවල් පවසන්නේ.

කෙසේ වෙතත් ඇත් දළ වෙළඳාම සම්බන්ධයෙන් පවතින නීති තර කිරීමට තවත් අප්‍රිකානු රටවල් ගණනාවකටම අවශ්‍ය කොට තිබේ.

පසුගිය වසර කීපය තුළ පමණක් අප්‍රිකාවේ වන අලි ඇතුන් ගහනය සියයට තිහකින් පහළ ගොස් තිබෙන අතර ඊට මූලික වශයෙන් බලපා ඇත්තේ අලි ඇතුන් දඩයමයි.