කාශ්මීර ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය හමුදාවේ කෝපය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීර කලාපයේ දේශ සීමාව ආසන්නයේ පිහිටි ඉන්දීය හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක භටයන් දාහත් දෙනකු මරුමුවට පත් විය

ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ හමුදා කඳවුරකට ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේදැයි යන්න සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට ජ්‍යේෂ්ඨ ඇමතිවරු අතර හමුවක් පැවැත්වේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය හමුදාවේ කෝපය පළ වන බවයි ආරක්ෂක කටයුතු පිළිබඳ විශ්ලේෂක රාහුල් බේඩි පවසන්නේ.

පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ දේශ සීමාව ආසන්නයේ පිහිටි ඉන්දීය හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක භටයන් දාහත් දෙනකු මරුමුවට පත් විය.

මෑත වසර කීපය තුළ ඉන්දීය කාශ්මීරයේ ආරක්ෂක අංශ ඉලක්ක කොට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙයයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ගිනි අවි සහ අත් බෝම්බ රැගත් ප්‍රහාරකයන් හමුදා කඳවුරට කඩා වැදී ප්‍රහාර එල්ල කොට තිබේ

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් ඉන්දීය ආණ්ඩුව කියා සිටියේ තහනම් කරන ලද පාකිස්තානයේ ක්‍රියාත්මක ජයිෂ්- එ-මොහම්මද් නමැති කැරලි කණ්ඩායමට අයත් පුද්ගලයන් විසින් ප්‍රහාරය එල්ල කොට ඇති බවයි.

ත්‍රස්තවාදයට අනුබල දෙන බවටත් ඉන්දියාවේ ස්වදේශ කටයුතු භාර ඇමතිවරයා පාකිස්තානයට චෝදනා කළේය.

එහෙත් එම චෝදනාව පාකිස්තාන ආණ්ඩුව තරයේ ප්‍රතික්ෂේප කරයි.