නව සැම්සුන් ස්මාර්ට් දුරකථන වෙළඳපොළෙන් ඉවතට

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මින් සති දෙකකට පෙර රටවල් දහයකදී වෙළඳපොළට හඳුන්වා දුන් නවතම සැම්සුන් 'ගැලැක්සි නෝට් සෙවන්' (Galaxy Note 7) ජංගම දුරකථනය

ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන සැම්සුන් සමාගම විසින් සිය නවතම ස්මාර්ට් ජංගම දුරකථන විකිණීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

සැම්සුන් සමාගම විසින් මෙම තීරණය ගෙන තිබෙන්නේ ඔවුන් විසින් වෙළඳපොළට මුදා හල ඇතැම් නව ස්මාර්ට් ජංගම දුරකථන වල බැටරිය පුපුරා යාමේ සිදුවීම් කිහිපයක් වාර්තා වීමෙන් පසුවයි.

මින් සති දෙකකට පෙර රටවල් දහයකදී වෙළඳපොළට හඳුන්වා දුන් නවතම සැම්සුන් 'ගැලැක්සි නෝට් සෙවන්' (Galaxy Note 7) ජංගම දුරකථනය දකුණු කොරියානු වෙළඳ සමාගමක් විසින් මේ වන විට මිලියන දෙකකට අධික පාරිභෝගිකයන්ට විකුණා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Ariel Gonzalez

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇතැම් නව ස්මාර්ට් ජංගම දුරකථන වල බැටරිය පුපුරා යාමේ සිදුවීම් කිහිපයක් වාර්තා වූ බව සැම්සුන් සමාගම පවසයි

සැම්සුන් සමාගම ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මේ වන විට 'ගැලැක්සි නෝට් සෙවන්' ජංගම දුරකථනය මිල දී ගෙන ඇති සියලුම පාරිභෝගිකයන්ට නව ජංගම දුරකථන ලබා දීමට කටයුතු කරන බවයි.

සැම්සුන් සමාගමේ ප්‍රමුඛ ව්‍යාපාරික තරඟකරු වන ඇපල් සමාගම විසින් නව 'අයිෆෝන්' ජංගම දුරකතනයක් වෙළඳපොළට හඳුන්වා දීමට සතියක කාලයක් තිබියදී මතුව ඇති මෙම ගැටලුව හේතුවෙන් සැම්සුන් සමාගමට විශාල පාඩුවක් සහ වෙළඳ නාමයට හානියක් සිදු වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.