හැකරුන් පරදන ක්වොන්ටම් පණිවුඩ චන්ද්‍රිකාවක්

ඡායාරූප මූලාශ්‍රය, China Daily/Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව අභ්‍යාවකාශ ගත කෙරුණේ ගෝබි කාන්තාරයේ සිටයි.

කිසිසේත්ම හැකරුන්ට ඇතුළු වීමට නොහැකි වන අයුරින් පණිවුඩ හුවමාරු කළ හැකි ක්වොන්ටම් බලැති චන්ද්‍රිකාවක් (quantum-enabled satellite) අභ්‍යවකාශ ගත කළ බව චීන විද්‍යාඥයෝ පවසති.

චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ මෙම චන්ද්‍රිකාව හරහා හුවමාරු වන ආරක්ෂාකාරී පණිවුඩ අනු පරමාණුක කොටස් පිපිරීම් වලින් නිර්මාණය වන බැවින් හැකරුන්ට ඇතුළු වීමේ ඉඩකඩක් නොමැති බවයි.

යම් ලෙසකින් හැකරුන් මෙම පණිවුඩ තුළ ඇති අන්තර්ගතය සොරා ගැනීමට උත්සාහ කළොත් එම පණිවුඩ ස්වයංක්‍රීයව විනාශ වන අයුරින් නිර්මාණය කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම තාක්ෂනය යොදාගෙන අනාගතයේදී හැකරුන්ට කිසිසේත් ඇතුළුවිය නොහැකි පරිඝනක පද්ධති නිර්මාණය කිරීමට හැකි වෙනු ඇති බවටයි විශ්වාස කරන්නේ.

රහසිගත පණිවුඩ තාක්ෂණය ඔස්ට්‍රියානු විද්‍යාඥ කණ්ඩායමක් සමග එකතු වී චීන විද්‍යාඥයන් විසින් නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විශේෂ චන්ද්‍රිකාව නිපදවීමට කොතරම් මුදලක් වැය වී ඇත්දැයි රජය ප්‍රකාශ කර නොමැති නමුත් චීන පුවත්පතක් වාර්තා කළේ තාක්ෂණය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියට පමණක් ඇමරිකානු ඩොලර් බිලියන සීයකට අධික මුදලක් වෙන් කර තිබුණු බවයි.

පුරාතන චීන ජාතික චින්තකයෙකු සහ විද්‍යාඥයෙකු වන මෙන්සියස් නමින් හඳුන්වා ඇති මෙම චන්ද්‍රිකාව හරහා බේජිං නුවර සිට බටහිර චීනයේ උරුන්කි වෙත රහස් පණිවුඩ හුවමාරු කිරීමටයි සැලසුම් කොට තිබෙන්නේ.

මෙම තාක්ෂනය යොදාගෙන අනාගතයේදී හැකරුන්ට කිසිසේත් ඇතුළුවිය නොහැකි පරිඝනක පද්ධති නිර්මාණය කිරීමට හැකි වෙනු ඇති බවටයි විශ්වාස කරන්නේ.