අනාගමික ලේඛකයාගේ ඝාතන සැකකරු මරා දැමෙයි

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, අනාගමිකවාදීන්ගේ ඝාතන හෙලා දැක බංගලාදේශ ක්‍රියාධරයන් විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක්

අනාගමික බ්ලොග් ලේඛකයකු වූ අවිජිත් රෝයි ඝාතනයේ ප්‍රධාන සැකකරු වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත් වූ බව බංගලාදේශ පොලිසිය පවසයි.

ප්‍රමුඛ පෙළ බ්ලොග් ලේඛකයකු වන අවිජිත් රෝයි ඝාතනයට ලක් වූයේ මීට මාස දාසයකට ඉහතදී.

ඩකා අගනුවර ආසන්නයේ සිදු කරන ලද වැටලීමක් අතරතුර සිදු වූ වෙඩි හුවමාරුවකදී ෂරිෆ් නමැති සැකකරු මරුමුවට පත් වූ බවයි පොලිසිය කියා සිටියේ.

ඉහත කී ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන ෂරිෆ් සහ තවත් ප්‍රහාරකයන් හය දෙනකු පිළිබඳ තොරතුරු සොයා පොලිස් පරීක්ෂණ සිදු කෙරෙමින් පැවතිණි.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකාවේ පදිංචිව සිටි ලේඛක අවිජිත් රෝයි ඩකා අගනුවරදී ඝාතනයට ලක් විය

බංගලාදේශය තුළ මෑත කාලයේ සිදු වූ අනාගමික ලේඛකයන්ගේ සහ සුළු ජන කොට්ඨාශවලට අයත් පුද්ගලයන්ගේ ඝාතන ෂරිෆ් විසින් සැලසුම් කොට ඇති බවටත් සැක කෙරේ.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඇමරිකාවේ සිට ඩකා අගනුවර බලා පැමිණි අවිජිත් රෝයි පුද්ගලයන් කීපදෙනකු විසින් කපා කොටා මරා දමා තිබිණි.