බැග්ඩෑඩ් කාර් බෝම්බ ප්‍රහාරයෙන් මහා ජීවිත විනාශයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඉරාකයේ උතුරු බැග්ඩෑඩ් අගනුවර ඉතා ජනාකීර්ණ වෙළඳපොළක පුපුරා ගිය කාර් බෝම්බයකින් අඩුම තරමින් 64 දෙනෙකු මියගොස් තවත් 87කට පමණ තුවාල සිදු වී ඇති බව එරට පොලිසිය පවසයි.

උදෑසන ඉතා කාර්යබහුල හෝරාවක ෂියා මුස්ලිම් ප්‍රදේශයේ 'සදර්' නගරමාධ්‍යයයේ පිහිටා තිබූ වෙළඳපොළකටයි මෙම කාර් බෝම්බ ප්‍රහාරය එල්ල කෙරුණේ.

ෂියා මුස්ලිම් කැරලිකරුවන් ඉලක්ක කරගෙන සිය සංවිධානය විසින් මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබූ බවට ඉස්ලාම් රාජ්‍ය සංවිධානය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

උතුරු ඉරාකයේ සහ බටහිර ඉරාකයේ බලය අල්ලාගෙන සිටින සුන්නි කැරලි කරුවන් දිගින් දිගටම ෂියා මුස්ලිම් කණ්ඩායම් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරනු ලබන්නේ ඔවුන් මිත්‍යාදෘෂ්ටිකයන් බවට චෝදනා කරමිනි.

කාර් බෝම්බ ප්‍රහාරයෙන් ඝාතනය කෙරුණු පුද්ගලයන් අතර වැඩි ප්‍රමාණයක් සිටින්නේ කාන්තාවන් සහ ළමුන් බව පවසන ඉරාක පොලිසිය කියා සිටින්නේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් ඉතා අසාධ්‍ය තත්වයේ පසුවන බවයි.