සනත් ජයසූරිය එජාපයට එක්‌වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Krishan Jeevaka Jayaruk
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සනත් ටෙරාන් ජයසූරිය එක්සත් ජාතික පක්ෂයට එක්විය.
2010 වසරේ පැවැත්වුණු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කොට මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත් වුණු ඔහු, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පසුව තැපැල් සහ විදුලි සංදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් පත් කරන ලදි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය, කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසින්ද ක්‍රියා කළේය.

මේ වසරේ ජනවාරි මාසයේ පැවති ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, මාස කිහිපයකට පසුව යළිත් වරක් සනත් ජයසූරිය නියෝජ්‍ය අමාත්‍ය පදවියකට පත් කළේය.
මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව මීට ඉහතදී ඔහු නිවේදනය කළේය.
කලක් රාජපක්ෂ පවුලේ සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සමීප හිතවතෙකු වූ ඔහු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබාදීමේ තීරණය හේතුවෙන් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වූ බවයි සැලකෙන්නේ.
සිය පුතා සන්ධානයට සහාය දුන් නමුත් තමන් සාම්ප්‍රදායිකව එක්සත් ජාතික පාක්ෂිකයන් බව සනත් ජයසූරියගේ මව මීට ඉහතදී ප්‍රකාශකොට තිබුණි.
අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීප මිතුරකු වන සාගල රත්නායක සමඟ ඔහු මාතර දී මාධ්‍ය සාකච්ඡාවකටද එක්විය.




























