ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය: පිපිරීම්වලින් පුද්ගලයන් පහළොස් දෙනෙකු මියගොස් තිබේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජාතික තව්හිත් ජමා'අත් (NTJ) සංවිධානය සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (JMI) යන සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව, එම සංවිධානවලට අයත් සියලු දේපළ සහ එහි ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගනු ඇත.

2019 අංක 1 දරණ හදිසි අවස්ථා (විධි විධාන) සහ බලතල නියෝග යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධාන ද තහනම් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නමුත් ජනාධිපතිවරයා ඊයේ (අප්‍රේල් 26) මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ, මෙම සංවිධානය තහනම් කිරීමට අවශ්‍ය නීතිරීති ශ්‍රී ලංකාවේ නොමැති බවය. ඒ සඳහා නීතියක් සැකසීම ආරම්භ වී ඇති බවත් ඔහු පැවසීය.

මේ අතර, අම්පාර නින්දවූර් ප්‍රදේශයේ ද ආරක්ෂක අංශ අද දින (අප්‍රේල් 27) ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමක දී ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබේ. පොලීසිය පැවසූ පරිදි සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ මරාගෙන මැරෙන කණ්ඩායමක් එම ප්‍රදේශයේ සිටින බව බවට ලද තොරතුරකට අනුවය.

ඒ අනුව හමු වූ ද්‍රව්‍ය අතර මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලවලට සවිකරන කුඩා යකඩ බෝල සවි කළ තහඩුවක්, ලියාපදිංචි නොකළ වෑන් රථයක්, උල් පිහියක් ඇතුළු තවත් භාණ්ඩ රැසක් වේ.

ඡායාරූප මූලාශ්‍රය, SriLankaPolice

ඡායාරූප ශීර්ෂ වැකිය, අම්පාර නින්දවූර් ප්‍රදේශයේ වැටලීම්

ඡායාරූප මූලාශ්‍රය, SriLankaPolice

ඡායාරූප ශීර්ෂ වැකිය, සොයාගත් ද්‍රව්‍ය අතර ලියාපදිංචි නොකළ වෑන් රථයක්

ඡායාරූප මූලාශ්‍රය, SriLankaPolice

ඡායාරූප ශීර්ෂ වැකිය, මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලවලට සවිකරන කුඩා යකඩ බෝල සවි කළ තහඩුවක්

අම්පාර දිස්ත්‍රික්කයේ සයින්දමරදුහි සැකකරුවන් පිරිසක් රැඳී සිටි නිවසක ඊයේ (අප්‍රේල් 26) සිදු වූ පිපිරීම්වලින් දරුවන් හය දෙනෙකු ඇතුළු පුද්ගලයන් පහළොස් දෙනෙකුගේ මියගොස් තිබෙන බව පොලීසිය පැවසීය.

මියගිය පිරිස අතර සැකකරුවන්ගේ ඥාතීන් යැයි සැලකිය හැකි කාන්තාවන් තිදෙනෙකු ද සිටි බව පොලීසිය කියා සිටියේය.

ඒ අතරම බරපතල ලෙස තුවාල ලබා සිටි කාන්තාවක් හා දරුවෙකු ද රෝහල් ගත කර ලැබිණ.

ආරක්ෂක අංශ සහ සැකකරුවන් අතර වෙඩි හුවමාරු වූ බව වාර්තා වේ.

පැය කීපයක් පැවති වෙඩි හුවමාරුවකින් පසු පිපිරුම් ශබ්දයක් ඇසුණු බව ප්‍රදේශවාසීහු පැවසූහ.

"මේ අතරින් හය දෙනෙකු මරාගෙන මැරෙන ප්‍රහාරකයන් බව සැක කරනවා. දෙමටගොඩ සිද්ධියේ දී වුණා වගේ මේ අවස්ථාවෙත් ආරක්ෂක අංශ අදාළ නිවසට ඇතුළු වෙන්න උත්සහ කරන කොට පිපිරීම් සිදු වුණා," පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර බීබීසී වෙත පැවසීය.

වෙඩි තබාගැනීම්වලින් පසු එම ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවූ අතර, ආරක්ෂක අංශ තවදුරත් සෝදිසි මෙහෙයුම්වල යෙදී සිටී.

ඡායාරූප ශීර්ෂ වැකිය, ආරක්ෂක අංශ සහ සැකකරුවන් අතර වෙඩි හුවමාරු වූ බව වාර්තා වේ

"රාත්‍රී අට වෙද්දී මෙහි තත්වය සාමන්‍ය අතට පත්කරළා, යුද හමුදාව අතට ගත්තා. මෙහෙයුමේ දී අපේ කිසිම කිසිම කෙනෙක්ට තුවාලයක් හෝ මරණයට පත් වීමක් වුණේ නැහැ," ශ්‍රී ලංකා යුද හමුදාවේ නැගෙනහිර ආඥාපති මේජර් ‍ජෙනරාල් අරුණ ජයසේකර මාධ්‍ය වෙත පැවසීය.

නින්දවුර් ප්‍රදේශයේ සිවිල් වැසින් සැපයූ තොරතුරු අනුව ඊයේ (26) අම්පාරේ දිස්ත්‍රික්කයේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවත්, එම තොරතුරු නිසි වෙලාවට නොලැබුණේ නම් තවත් විනාශයක් වන්නට ඉඩ තිබූ බවත් මේජර් ‍ජෙනරාල් අරුණ ජයසේකර පැවසුවේය.

මාධ්‍ය අමතමින් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ දිවයිනේ සෑම ප්‍රදේශයකම සිවිල් වැසියන් ලබා දෙන තොරතුරු ආරක්ෂක අංශ නිලධාරින්ට ඉතා වැදගත් බවකි.

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා යුද හමුදාවේ නැගෙනහිර ආඥාපති මේජර් ‍ජෙනරාල් අරුණ ජයසේකර (වම් පස)

ඊයේ සමන්තුරේ ප්‍රදේශයේ නිවසක තිබී මරාගෙන මැරෙන ප්‍රහාරකයන්ගේ බවට සැක කෙරෙන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබීය.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇඟලන ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටලයක්, කුඩා යකඩ බෝල ලක්ෂයක් සහ ජෙලග්නයිට් කූරු 150 ක් පමණ ද එහිදී හමු වූ ද්‍රව්‍යවලට අයත් බව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.

ඉහත කී ඇඳුම් කට්ටල සහ තිරය, පාස්කු දින ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යයි සැක කෙරෙන පිරිස විසින් නිකුත් කරන ලද වීඩියෝ දර්ශනයක දැක්වෙන පුද්ගලයන් ඇඳ සිටි ඇඳුමට හා එහි වූ පසුබිම් තිරයට සමාන බව ද පොලිස් අධිකාරීවරයා පැවසීය.

රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු තොරතුරක් මත අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී ඉහත කී ද්‍රව්‍ය හමු වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊයේ සමන්තුරේ ප්‍රදේශයේ නිවසක තිබී මරාගෙන මැරෙන ප්‍රහාරකයන්ගේ බවට සැක කෙරෙන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබීය

මේ අතර, ත්‍රීරෝද රථයක C4 වර්ගයේ පුපුරණ ද්‍රවය රැගෙන යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු ඊයේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ගෙවී ගිය දිනය තුළ දී සැකකටයුතු පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් ඇතැමෙකු ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයට (NTJ) අයත් යැයි සැකකරන බව පොලීසිය පවසයි.

කල්මුනේ, චළවකඩේ, සමන්තුරය පොලිස් වසම්වල බලපැවැත්වෙන පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ආරක්ෂක අංශ තවදුරත් සෝදිසි මෙහෙයුම්වල යෙදී සිටී

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් ඊයේ (26) කොළඹ නගරයේ ක්‍රියාත්මක කරන ලද සෝදිසි මෙහෙයුම් අතරතුරදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 46ක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ තොරතුරුද දැනගන්න: