ශිරන්ති CID වෙත, රෝහිත FCIDයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අද (අගෝස්තු 15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට කැඳවා තිබිණි.

ඒ හමුවේ පෙනී සිටි ඇයගෙන් පැය දෙක හමාරකට අධික කාලයක් ප්‍රශ්න කෙරිණි.

ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබුවේ රගර් ක්‍රීඩක වසීම් තජුදින් ඝාතනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණය සම්බන්ධයෙනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියහ.

හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳගෙන් එසේ ප්‍රශ්න කිරීම දේශපාලන පළිගැනීමක් බව පවසමින් ආධාරකරුවන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දොරටුව ඉදිරිපිට විරෝධතාවක නියැලුණහ.

ශිරන්ති රාජපක්ෂට සහාය පළ කරමින් "අපේ ජාතියේ අම්මට ජයවේවා", "අපිට ඕනෑ නීතිගරුක මහින්දගේ ආණ්ඩුවක්" යනුවෙන් ඔවුහු හඬ නැගූහ.

සැටලයිට්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, Rohitha Rajapaklsa

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ

හිටපු ජනාධිපතිවරයාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ද ඉහත කී පරීක්ෂණයට අදාළව හෙට (අගෝස්තු 16) ප්‍රකාශයක් ලබාදීමට නියමිතය.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂව ද අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) හමුවට කැඳවා තිබිණි.

ඒ ඔහු සම්බන්ධ වූ චන්ද්‍රිකා (සැටලයිට්) ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන පරීක්ෂණයකට අදාළවය.