කටාර් අර්බුදය: "අමානුෂික ක්‍රියාවක්"

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, කටාර් ගුවන් සේවයට සිය ගුවන් කලාපය වසා දැමීමට සෞදි අරාබිය ඇතුළු සෙසු රටවල් කටයුතු කළහ

කටාර් රාජ්‍යය සහ සෞදි අරාබිය ඇතුළු අරාබි රටවල් කිහිපයක් අතර මතුව ඇති අර්බුදය තවමත් සමථයකට පත් වී නොමැත.

සෞදි අරාබිය, බහරේනය, ලිබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, යේමනය, ඊජිප්තුව යන රටවල් විසින් කටාර් රාජ්‍යය හුදෙකලා කරනු ලැබීම තුර්කි ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක් විය.

ඉහත කී අරාබි රටවල් විසින් ගත් එම තීන්දුව තුර්කි ජනාධිපති රෙජෙප් තයියප් එර්දොවාන් විසින් හඳුන්වනු ලැබුවේ "අමානුෂික සහ ඉස්ලාමීය හර පද්ධතීන්වලට පටහැණි" ක්‍රියාමාර්ගයක් ලෙසය.

කටාර් රාජ්‍යය සමග පැවති සියලු සබඳතා අත්හිටුවීමට ගත් තීන්දුව "මරණ දණ්ඩනය" ලබා දීමක් හා සමාන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ත්‍රස්තවාදී කණ්ඩායම් සහ ඉරානයට සහාය ලබා දෙන බවට සෙසු ගල්ෆ් රටවල් කරන චෝදනා කටාරය ප්‍රතික්ෂේප කරයි.

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ එල්ල වී ඇති බලපෑමෙන් ගොඩ ඒම සඳහා කටාර් රාජ්‍යයට සහාය ලබා දෙන බවට ජනාධිපති එර්දොවාන් ප්‍රතිඥා දී තිබේ.

අර්බුදය විසඳා ගැනීම සඳහා කටයුතු කිරීම සෞදි අරාබියේ වගකීමක් බවත් ඔහු සඳහන් කළේය.

අත්‍යවශ්‍ය අහාර

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩෝහා අගනුවර වෙළඳසැල් වෙත ආහාර තොග ප්‍රවාහනය කිරීමට තුර්කිය කටයුතු කළේය

කිරි නිෂ්පාදන, කුකුළු මස් සහ පලතුරු යුෂ ඩෝහා අගනුවර වෙත ගුවන් මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට තුර්කිය පසුගියදා කටයුතු කළේය.

අර්බුදය සම්බන්ධයෙන් මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරන බව මොරොක්කෝව මීට පෙර පවසා තිබිණි.

කෙසේ නමුත් ආහාර හිඟයක් ඇති වීම වළක්වා ගැනීම පිණිස කටාරය වෙත ගුවනින් ආහාර තොග යැවීමට කටයුතු කෙරෙනු ඇති බව සඳුදා (ජුනි 02) මොරොක්කෝ රාජ්‍යය නිවේදනය කළේය.

ශ්‍රී ලාංකිකයන්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, කටාර් වෙත ආනයනය කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන්නේ ගොඩබිම් සහ මුහුදු මාර්ග ඔස්සේය

මේ අතර කටාර් රාජ්‍යය හා සෙසු කලාපීය රටවල් අතර මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කටාරයේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරන සංවිධාන 22 ක සහභාගිත්වයෙන් හමුවක් සංවිධානය කර ඇති බව එරට සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා පවසයි.

තානාපති ඒ.එස්.පී ලියනගේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ බදාදා (ජුනි 14) ඩෝහා අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී එරට වේලාවෙන් සවස 05.00 ට එම හමුව පැවැත්වෙන බවය.

කෙසේ නමුත් කටාරය සහ සෙසු කලාපීය රටවල් අතර මතුව ඇති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ රැකියාවල සුරක්ෂිතභාවයට බලපෑමක් එල්ල වී නොමැති බව තානාපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ විසි දහසකට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කටාර් රාජ්‍ය වෙත සහාය පළ කරමින් තුර්කියේ පැවති උද්ඝෝෂණයක්

ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?

කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

ඊමේල් : sinhala@bbc.co.uk