පැරිස් සම්මුතිය : ඇමෙරිකාවේ ඉවත්වීම ගැන කනස්සල්ල

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අදාළ සම්මුතියෙන් ඇමෙරිකාවට "දඬුවම් කරලා" - ජනාධිපති ට්‍රම්ප්

ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීම ජාත්‍යන්තරව හෙළා දැක තිබේ.

2015 වසරේදී එළඹුණු කාලගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියෙන් ඉවත්වන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.

මෙම තීරණය "බරපතල කණස්සල්ලක්" බව එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් පවසද්දී මෙම දිනය "ලෝකයට අතිශය කනගාටුදායක දිනයක්" බව යුරෝපා සංගමය විසින් හඳුන්වා දෙනු ලැබිණි.

කෙසේවෙතත්, ජ්‍යේෂ්ඨ ඇමෙරිකානු රිපබ්ලිකන් සාමාජිකයින් මෙන්ම එරට ගල් අඟුරු කර්මාන්තය මෙම තීරණයට සහාය පළකර තිබේ.

අදාළ සම්මුතියෙන් ඇමෙරිකාවට "දඬුවම් කරලා" යැයි සඳහන් කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා, එයින් ඇමෙරිකාවේ රැකියා මිලියන ගණනකට බලපෑමක් එල්ල කර ඇති බව පැවසීය.

ධවල මන්දිරයේදී ප්‍රකාශයක් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දුන්නේ නව ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෝ අලුත් වගන්ති ඇතුළත්වන්නේ නම් ගිවිසුමට යළි එක්වීමට තමන් සුදානම් බවය.

ඇමෙරිකාව ඇතුළු රටවල් 187ක් එළඹුණු පැරිස් ගිවිසුම තුළින් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ට අඩු තත්තත්වයක පවත්වා ගැනීමට එකඟතාව පළවී තිබු අතර තවදුරටත් එය සෙල්සියස් අංශක 1.5 මට්ටමට ගෙන ඒම සඳහා උනන්දු කෙරිණි.

සිරියාව සහ නිකරගුවා

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

සිරියාව සහ නිකරගුවා පමණක් ගිවිසුමට එකඟ නොවුහ.

ඇමෙරිකාවට අවාසිසහගත බවක් ගෙනදීම ගිවිසුමේ අරමුණු වී ඇතැයි පවසන ජනාධිපති ට්‍රම්ප්, ගිවිසුම හරහා එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් ඩොලර් ට්‍රිලියන 3 ක් අහිමිවන අතර රැකියා මිලියන 6.5 ක් අහිමිවන බව පෙන්වා දෙයි.

ඒ අනුව ඔහු කියා සිටින්නේ තමාගේ "එකම වගකීම ඇමෙරිකාව සහ එහි ජනතාව සුරැකීමයි " යනුවෙනි.