චීනයේ 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය' ශ්‍රී ලංකාව ඇතුළු රටවල් "ණය උගුලක" පටලැවීමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බීජිංහි තෙවැනි වරට පැවැත්වෙන 'එක් තීරයක්, එක් මාවතක්' සමුළුව සඳහා ස්ථාපිත පුවරුවක් ඉදිරිපිට සිට සෙල්ෆියක් ගනිමින්

චීනය ලොව සෙසු රටවල් සමග සම්බන්ධ කරමින් නව වෙළෙඳ මාර්ග දෙකක් ස්ථාපනය කිරීමේ අරමුණ පෙරදැරිකර ගත් සැලැස්මක් වන 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතයේ' (BRI) දසවන සංවත්සරය සමරන මොහොතේ ලෝක නායකයින් සහ රටවල් 130ක නියෝජිතයෝ එරට වෙත පැමිණ සිටිති.

මෙම අවස්ථාව සනිටුහන් කිරීමට රුසියාවේ ව්ලැදිමීර් පුටින් ඇතුළු ජනාධිපතිවරු හා අගමැතිවරු ද බීජිං නුවරට පැමිණ සිටිති. සමුළුව ඔක්තෝබර් 17-18 දෙදින පැවැත්වේ.

ඩොලර් ට්‍රිලියන ගණනක මූල්‍යමය වටිනාකමක් ඇති මෙම ක්‍රියාන්විතය සඳහා රටවල් විශාල ගණනක් සහභාගී වීම යනු, එය ලොව පුරා කෙතරම් විශාල බලපෑමක් කර ඇති ද යන්න පෙන්වන සාධකයකි. එමෙන් ම, චීන රජයට සහ සමාගම්වලට විදේශයන්හි කොපමණ ආයෝජන ප්‍රමාණයක් ඇති ද යන්න එමඟින් පිළිබිඹු වේ.

පසුගිය දශකය තුළ, ලෝක ජනගහණයෙන් හතරෙන් තුනක් ආවරණය වන පරිදි රටවල් 150ක් මෙම ක්‍රියාන්විතයට සම්බන්ධ වී ඇත. කෙසේ වෙතත් එමඟින් ලද සාර්ථක ප්‍රතිඵල මෙන් ම අසාර්ථක ප්‍රතිඵල ද තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2018 වසරේ දී කොළඹ තරුණ තරුණියන් පිරිසක් චීන ණයවලින් ඉදිකෙරෙමින් පැවැති උස් ගොඩනැගිලි ඉදිරිපිට

චීනය 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය' නිර්මාණය කළේ ඇයි?

විශ්ලේෂකයින්ට අනුව, චීනය මූලික වශයෙන් 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය' පිහිටුවනු ලැබුවේ එරට සීඝ්‍රයෙන් වර්ධනය වන ආර්ථිකය තුළ අතිරික්ත නිෂ්පාදනය සහ ශ්‍රම පිරිවැය ඉහළ යාම වැනි අභියෝගවලට මුහුණ දීම සඳහා ය.

එක්සත් ජනපදයේ නිව් හැම්ප්ෂයර් විශ්වවිද්‍යාලයයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ලෝරන්ස් සී රියර්ඩන් පවසන්නේ, 1980 ගණන්වල සිට චීනය ජාත්‍යන්තර ආර්ථික කටයුතු වඩාත් කේන්ද්‍රකර ගත් සංවර්ධන ප්‍රවේශයක් අනුගමනය කිරීමෙන් රැස්කර ගත් ඩොලර් ට්‍රිලියන තුනක විදේශ විනිමය සංචිත මඟින් මෙම ක්‍රියාන්විතය සඳහා අරමුදල් සපයනු ලබන බව ය.

දේශීය ඉල්ලුම අඩුවීම හමුවේ චීන ඉදිකිරීම් සමාගම් විදේශයන්හි නව ව්‍යාපෘති සොයමින් සිටියේ ය.

2012 වසරේ දී බලයට පත් වූ දා සිට, ජනාධිපති ෂී ජින්පින්ග් චීන නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ පුළුල් කිරීම සහ රටට ගෝලීය වශයෙන් ඇති බලය ඉහළ නැංවීම සඳහා 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය' ප්‍රවර්ධනය කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2019 දී බීජිංහි පැවති දෙවන 'එක් තීරයක්, එක් මාවතක්' සමුළුවේ සම්මාන ප්‍රදානෝත්සවයේ දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, චීන ජනපති ෂී ජින්පින්ට අතට අත දෙයි

චීන රජය සතු ව්‍යාපාර, චීනය අපනයනය මඟින් රැස් කරන අරමුදල් ආයෝජන කර මුදල් සෙවීමට සහයෝගයෙන් කටයුතු කර ඇත. ඒවා එක්ව ගෝලීය දකුණේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ද අනුමැතිය ලබා දී ඇත.

ගෝලීය ව්‍යාපෘති තෝරාගෙන ඇත්තේ කෙසේ ද?

වසර දහයක් පුරා, 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය' යටිතල පහසුකම්වලින් ඔබ්බට යමින්, ඩිජිටල් තාක්‍ෂණය, ආරක්‍ෂාව සහ තිරසර සංවර්ධනය ද ඇතුළත් කිරීමට එහි අරමුණ පුළුල් කර ගෙන තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චීන ක්‍රියාන්විතයේ බලපෑම, මීටර් 4,693ක උන්නතාංශයක පිහිටමින් චීනය සහ පාකිස්ථානය සම්බන්ධ කරන ලොව උසම තාරපාර වන කාරකෝරම් අධිවේගී මාර්ගය දක්වා විහිදෙයි

නිල දත්තවලට අනුව චීනය 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතයේ' කොටසක් ලෙස ව්‍යාපෘති 3,000කට වැඩි ගණනක ආයෝජනය කර ඇත.

ඉන්දුනීසියාව, පාකිස්ථානය, සිංගප්පූරුව, රුසියාව, සෞදි අරාබිය, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, පේරු, ලාඕසය, ඉතාලිය, නයිජීරියාව, ඉරාකය, ආර්ජන්ටිනාව සහ චිලී යනු අරමුදල් ලැබෙන ප්‍රමුඛ රටවල් 15 බව අමෙරිකානු ව්‍යවසාය ආයතනය (American Enterprise Institute) පවසයි.

එහි බලපෑම ලොව පුරා විහිදෙන අතර, මේ සමුළුවේ දී අරමුදල් ලබා ගැනීමට කෙන්යාව බලාපොරොත්තුවෙන් පසුවෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, චීනයේ සමුළුවේ දී උගන්ඩා දේශසීමාව දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට සහාය ලබාගැනීමට කෙන්යාව බලාපොරොත්තු වේ

ව්‍යාපෘති තෝරා ගැනීම ආර්ථික අවශ්‍යතා මත පදනම්වූවක් බව චීනය ප්‍රකාශ කරන නමුත්, විචාරකයින් තර්ක කරන්නේ චීනය වටා කේන්ද්‍රගතවූ ගෝලීය පාලන ආකෘතියක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණ බව ය.

"චීනය එරට 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය' සඳහා අරමුදල් බෙදා හරින්නේ කෙසේ ද, කොතැනට ද යන්න තීරණය කිරීමේ දී, අවම වශයෙන් ආර්ථික කරුණු තරම් ම භූ දේශපාලනික සහ රාජ්‍යතාන්ත්‍රික සලකා බැලීම් ද වැදගත්," යුරේසියා සමූහයේ නැගෙනහිර ආසියාව පිළිබඳ විශේෂඥ ජෙරමි චෑන් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මේ ක්‍රියාන්විතය චීනයේ ආනයන හා අපනයන වෙළඳාම ඉහළ නංවා ඇත. මෙහි දැක්වෙන්නේ ෂැන්ඩොං පළාතේ කිංඩාඕ වරායේ බහාලුම් අංගනයකි

චෑන් පවසන්නේ, චීන ප්‍රතිලාභ ලබන ප්‍රමුඛ රටවල් 15 අතර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී බොහෝ රටවලට සාපේක්ෂව චීනයේ ස්ථාවරය වෙත අඩු වශයෙන් ඡන්දය ප්‍රකාශ කරන එක ම රට ඉතාලිය බව ය. එය 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතයෙන්' ඉවත්වන බවට ඉතාලිය මෑතකදී අඟවා ඇත.

අමෙරිකානු ව්‍යවසාය ආයතනය සතු දත්ත පෙන්නුම් කරන්නේ, චීනය එහි සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා බලවත් උපායමාර්ගික අරමුණු ක්‍රියාත්මක කරන ඉන්දුනීසියාව සහ පාකිස්ථානය වැනි රටවලට 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතයේ' අරමුදල් වැඩි වශයෙන් ගලා යන බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රියාන්විතය මඟින් ඉන්දුනීසියාව සහ චීනය අතර අධිවේගී දුම්රිය මාර්ගයක් සඳහා අරමුදල් සපයා ඇත

ධනවත් ගල්ෆ් රාජ්‍ය දෙකක් වන සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතයේ' වැඩි ම අරමුදල් හිමිවන රටවල් හත අතර වේ.

තෙල් නිපදවන මෙම රටවල්, එක්සත් ජනපද සම්බාධක වැනි බටහිර ප්‍රතිපත්ති මඟින් ඇතිවිය හැකි අවදානම්වලට එරෙහිව සටන් කිරීමට මූලෝපායික මෙවලමක් චීනය වෙත ලබා දෙයි.

සාර්ථක වී ඇත්තේ මොනවා ද?

'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය' යටතේ ක්‍රියාත්මක කරන ලද ඇතැම් ව්‍යාපෘති සැබවින් ම සාර්ථක වී තිබේ. හේතුව සරල ය: බොහෝ රටවලට මාර්ග සහ දුම්රිය මාර්ග ඇතුළු වඩා දියුණු යටිතල පහසුකම් අවශ්‍ය ය.

ඉන්දුනීසියාවේ පළමු අධිවේගී දුම්රිය සේවය වන 'Whoosh' විවෘත කරන ලද්දේ මෑතක දී ය. එහි දුම්රිය ජකර්තා අගනුවර, ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන බැන්ඩුංග් සමග සම්බන්ධ කරයි. එය පැයට කිලෝමීටර 350ක වේගයෙන් ගමන් කරමින් ගමන් කාලය පැය තුනේ සිට විනාඩි 40 දක්වා අඩු කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දුනීසියාවේ Whoosh සේවාව අගනුවර සහ සංචාරක ගමනාන්ත අතර ගමන් කාලය පැය ගණනකින් කප්පාදු කරයි

බැන්ඩුංග් වෙත ගමන් කිරීමට දැනටමත් ගාස්තු අය කරන මාර්ග සහ වඩාත් ලාබදායක දුම්රිය ඇති බැවින් 'Whoosh' අනවශ්‍යයැ යි ඇතැමුන් තර්ක කරන නමුත්, "[ඉන්දුනීසියාවේ] ගොඩදෙනා 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය' යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සමස්තයක් විදියට අගය කරනවා," ඉන්දුනීසියානු පර්යේෂණ ආයතනයක් වන INDEFහි පර්යේෂකයෙකු වන තව්හීද් අහමඩ් පවසයි.

ලාඕසයේ අගනුවර වන වියෙන්ටියාන්, චීනයේ යුනාන් පළාතේ කුන්මිං හා සම්බන්ධ කරන දුම්රිය මාර්ගයක් 2021 වසරේ දී විවෘත කරන ලදී. මෙම දුම්රිය මාර්ගය වියෙන්ටියාන් සිට චීන-ලාඕ දේශසීමාව දක්වා ගමන් කාලය පැය තුන දක්වා අඩුකර ඇති අතර, මඟීන්ට දිනක් ඇතුළත කුන්මිං වෙත ළඟා වීමට හැකි වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වියෙන්ටියාන් අධිවේගී දුම්රිය ස්ථානයේ දුම්රියට නැගීමට බලා සිටින මඟීන්

යුරෝපයේ "මකර හිස" (ඩ්‍රැගන්ස් හෙඩ්) ලෙස බොහෝ අවස්ථාවල දී හඳුන්වනු ලබන ග්‍රීසියේ පිරෙයාස් වරාය වැනි, 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය' මඟින් අත්පත් කර ගත් වෙනත් කැපී පෙනෙන සාර්ථකත්වයන් ද ඇත.

චීන රජය සතු ව්‍යාපාරයක් මේ වන විට එම වරායෙන් 60%කට වඩා පාලනය කරනු ලබන අතර, වරායට බහාලුම් විශාල ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images / UCG

ඡායාරූප ශීර්ෂ වැකිය, 'එක් තීරයක්, එක් මාවතක්' ක්‍රියාන්විතය නිසා පිරෙයාස් වරායේ වැඩි කොටසක් චීන සමාගමක් විසින් පාලනය කෙරෙයි

අසාර්ථක වී ඇත්තේ මොනවා ද?

'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතයේ' සැලකිය යුතු අසාර්ථකත්වයන් තිබේ.

මයෑමි විශ්වවිද්‍යාලයයේ දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙකු වන ජූන් ටියුෆල් ඩ්‍රයර් පවසන්නේ, "කිසි දා වාණිජමය වශයෙන් ප්‍රතිලාභ නොලැබෙන ව්‍යාපෘතිවලට ණය දීම සහ සහ ඉදිකිරීම් පිළිබඳ ප්‍රමාණවත් අධීක්ෂණයක් නොමැතිකම," ආදී ගැටළු ඇතුළු දුර්වල සැලසුම්වලින් මෙම ක්‍රියාන්විතය සමන්විත බව ය.

ගෝලීය ආර්ථික මන්දගාමීත්වය, ඉහළ යන පොළී අනුපාත සහ ඉහළ උද්ධමනය නිසා ඇතැම් රටවල චීන ණය ආපසු ගෙවීමේ දුෂ්කරතා තීව්‍රවී තිබේ. ඩොලර් බිලියන ගණනක ණය ගෙවීම් අකර්මණ්‍ය වී ඇති අතර සංවර්ධන ව්‍යාපෘති ද මඟ නැවතී ඇත.

2022 වසරේ දී බංකොලොත් බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය එක් උදාහරණයකි. චීන ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට නොහැකිවූ බැවින් 99 වසරක බදු පදනම මත වරාය චීනයට පවරා දී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (2018 වසරේ සංවර්ධන අවධියේ ඡායාරූපයකි) වැලි ඝන මීටර් මිලියන 65ක් යොදාගන්නා ලෙස නිර්මාණය කර ඇත
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතයේ' ප්‍රධාන හවුල්කරුවෙකු වන පාකිස්ථානය ද ඒ හා සමාන ගැටලුවලට මුහුණදෙයි. එය නියමිත වේලාවට ණය ගෙවීමට අපොහොසත් වී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහන ලබා ගැනීමට එරටට සිදු වී ඇත. ඇතැම් අවස්ථාවල ඉන්ධන සඳහා වැයවන මුදල් ඉතිරිකර ගැනීම සඳහා ජාතික විදුලිබල පද්ධතියට දායක වන ජනන යන්ත්‍ර අක්‍රිය කිරීමට ද ඔවුන්ට සිදුව තිබේ.

චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව හරහා 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය' ඔස්සේ අමතර අරමුදල් ලබා ගැනීමට පාකිස්ථාන රජය කළ ඉල්ලීම චීන රජය මෑතක දී ප්‍රතික්ෂේප කර ඇත. මීට හේතු ලෙස දක්වා තිබුණේ දේශපාලන අස්ථාවරත්වය, චීන සේවකයින්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටළු සහ පාකිස්ථානයට ණය ලැබීමට ඇති සුදුසුකම් ආදිය යි.

ඉතියෝපියාව සහ කෙන්යාව ඇතුළු තවත් බොහෝ රටවල් ද ඒ හා සමාන අභියෝග සමග පොරබදමින් සිටියි. ලෝක බැංකුවේ ආර්ථික විද්‍යාඥයන් ඇස්තමේන්තු කරන්නේ, 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය' හා සම්බන්ධ සියලුම ණයවලින් 60%ක් පමණ දැන් රටවල් මූල්‍ය අර්බුදයක පටලවා ඇති බව ය. මෙය චීනයේ ණය දීමේ පිළිවෙත්, "ණය උගුල් රාජ්‍යතාන්ත්‍රිකත්වය" ලෙස විවේචනයට ලක්වීමට තුඩු දී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චීන ණය, විදුලි රැහැන් වැනි යටිතල පහසුකම් ගොඩනැගීමට පකිස්ථානයට උපකාර විය

මහජනතාව පවසන්නේ මොනවා ද?

මත විමසුම්වලින් පෙනී යන්නේ, ඉහළ යමින් පවතින චීන බලපෑම පිළිබඳව බොහෝ රටවල් වඩා ත් කල්පනාකාරීව පසුවන බව ය.

පාකිස්ථානයේ ජනතාව, මුල දී ආර්ථික සමෘද්ධිය සහ ව්‍යාපාරික වර්ධනය අපේක්ෂාවෙන් 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය' ගැන සුබවාදීව පසුවූහ. කෙසේ වෙතත්, වසර ගණනාවකට පසු, පාකිස්ථානය සහ චීනය පොරොන්දු වූ පරිදි එරට ප්‍රජාවන්ගේ ජීවිතවල සැලකිය යුතු දියුණුවක් සිදුව නොමැත.

පාකිස්ථානයේ වරාය නගරයක් වන ගවාදර්හි මංතීරු හතරකින් යුක්ත ප්‍රධාන සමුද්‍ර මාවත හැරුණුකොට වෙනත් සංවර්ධන කටයුත්තක් සිදුව නොමැති බැවින් රටවාසීන් තුළ මෙම ව්‍යාපෘති කෙරෙහි අප්‍රසාදයක් හටගෙන තිබේ.

වියට්නාමයට, හැනොයිහි මහා පරිමාණයේ නාගරික දුම්රිය ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 670ක ණයක් චීනයෙන් හිමිවිය. කෙසේ වෙතත්, චීනය තවමත් 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය' යටතේ සිදු කෙරෙන නව යටිතල පහසුකම් ව්‍යාපෘති කිසිවක් නිල වශයෙන් නම් කර නොමැත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images / Washington Post

ඡායාරූප ශීර්ෂ වැකිය, වියට්නාමයේ 'කැට් ලින්-හා ඩොං' දුම්රිය ව්‍යාපෘතිය 2015 දී

වියට්නාමයේ 'කැට් ලින්-හා ඩොං' දුම්රිය ව්‍යාපෘතිය 2011 වසරේ දී ආරම්භ වූ නමුත් එයට ප්‍රමාදවීම්වලට සහ පිරිවැය ඉහළයෑම්වලට මුහුණදීමට සිදුවිය. එය අවසානයේ 2021 නොවැම්බර් මාසයේ දී සම්පූර්ණ කෙරිණි.

ඉදිකිරීම් සඳහා ගතවුණු කාලය රටේ අනෙකුත් යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ඍණාත්මක ආදර්ශයක් ලබා දුන් අතර එය මහජන විශ්වාසය දුර්වල කළේ ය. කෙසේ වෙතත්, බටහිර රටවල එවැනි ව්‍යාපෘති සඳහා ගතවන කාලය ඊට සමාන හෝ ඊට ත් වඩා දිගු විය හැකි බව සැලකිල්ලට ගත යුතු ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2021: කැට් ලින්-හා ඩොං දුම්රිය එහි පළමු මඟීන් රැගෙන හැනෝයි හරහා ධාවනය වෙයි

චීනය මෙම ගැටළු හඳුනාගෙන ඇති බව පෙනෙයි. ජනාධිපති ෂී දැන් 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය' යටතේ ඇති "කුඩා සහ ලස්සන" ව්‍යාපෘති වෙනුවෙන් පෙනී සිටින්නේ ය. මෑත වසරවල දී, 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය' යටතේ ක්‍රියාත්මක වන නව ව්‍යාපෘති සංඛ්‍යාව සහ විදේශයන්හි චීන ආයෝජනවල පරිමාණය යන දෙකෙහි ම අඩුවීමක් දක්නට ලැබේ.

ඉදිරිය දෙස බැලූ විට, 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය' එක ම ආකාරයකින් දැඩි අභියෝගවලට මුහුණදීමට සූදානම් බව පෙනෙයි.

"ප්‍රශ්නය වන්නේ, ප්‍රතිලාභ ලැයිස්තුවේ ඉහළින් ම ඇති රටවල්වලට ඔවුන්ගේ ණය ආපසු ගෙවීමට බැරිවෙලා තියෙන නිසා, චීන රජයට සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරන්න පුළුවන් ද කියන එක යි," මහාචාර්ය රියර්ඩන් සිය ප්‍රකාශය අවසන් කරමින් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images