කුඩා කාලයේදී ම මව අහිමිව මාමාගේ සහයෙන් IPL කරා පැමිණි අනිකේත් වර්මා පැමිණි දුෂ්කර ගමන්මග
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී හින්දි
- කියවීමේ කාලය: මිනිත්තු 5
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ වී ඇති අතර, නවක ක්‍රීඩකයින්ට තම දක්ෂතා විදහා දැක්වීමට මෙම තරගාවලිය තෝතැන්නක් වී තිබේ.
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 19 වන තරග වාරය ආරම්භ කරමින් සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සමග පැවති තරගයේදී එවැනි නවක ක්‍රීඩකයෙකුගේ දක්ෂතා දැක ගැනීමට හැකි විය.
චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවති එම තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම විසින් හයිදරාබාද් කණ්ඩායම පහසුවෙන් පරාජය කළේ ය. මෙම තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ විරාත් කෝලිට වැඩි අවධානයක් හිමි වූ අතර, පන්දු 38කදී ලකුණු 80ක් රැස් කළ හයිදරාබාද් කණ්ඩායමේ ඉෂාන් කිෂාන් වෙත ද පුළුල් අවධානයක් යොමු විය.
හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අනිකේත් වර්මා පන්දු 18කින් ලකුණු 43ක් රැස් කළේ ය. ඔහු අංක 7 ස්ථානයේ පන්දුවට පහර දුන් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. "විශිෂ්ට තරගයක්, අනිකේත් වර්මා," හයිදරාබාද් කණ්ඩායම ඔහුගේ ඉනිම ගැන එලෙස සටහනක් තබා තිබිණි.
ක්‍රිකට් ලෝලීන් ඔහු ගැන විශාල ලෙස අවධානය යොමු කරන කාලයක් එළඹ තිබුණ ද, අනිකේත් වර්මාගේ ළමා කාලය දැඩි දුෂ්කරතාවලින් ගෙන් පිරුණු එකක් විය.
පිතිකරණ ලැයිස්තුවේ පහළ සිට පැමිණි අනිකේත් වර්මාගේ ඉනිම හයිදරාබාද් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාව ඉක්මවා යාම සඳහා වැදගත් කාර්ය භාරයක් ඉටු කළේ ය.
මෙම ලිපියෙන් අනිකේත් වර්මා, ක්‍රිකට් ක්‍රීඩකයෙකු දක්වා මෙතෙක් පැමිණි දුෂ්කර ගමන් මග දෙස සොයා බලමු.
දුරකතනයක් මිල දී ගැනීමට ණයක් ගන්න සිදුවූ අවස්ථාව
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උත්තර් ප්‍රදේශ්හි ජාන්සි ප්‍රදේශයේ උපත ලැබූ අනිකේත් වර්මා පසුව මධ්‍ය ප්‍රදේශ්හි බෝපාල් වෙත සංක්‍රමණය විය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වයස අවුරුදු තුනේදී අනිකේත්ට ඔහුගේ මව අහිමි විය. ඔහුගේ පවුලේ ආර්ථික තත්ත්වය ද ඉතා දුර්වල විය.
මෙම අභියෝග මධ්‍යයේ වුව ද, අනිකේත් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි කැපවී වෙහෙස මහන්සි වී පුහුණුවීම්වල නිරත විය.
"අපි බෝපාල්වලට එද්දී ආර්ථික වශයෙන් අපි දුර්වල තැනකට වැටිලා හිටියේ. අපේ මාමා දැනටත් බෝපාල්වල ජීවත් වෙනවා. අපි එහෙට ආවේ මාමත් එක්ක ජීවත් වෙන්න," යනුවෙන් අනිකේත් වර්මා ඔහුගේ අතීතය සිහිපත් කරයි.
තම පවුලට බෝපාල්හි ජීවත් වීමට තමන්ගේ ම කියා නිවසක් නොතිබූ බවත් ඔවුන් කුලී පදනම මත ජීවත් වූ බවත් ඔහු පවසයි.
"මට මතකයි මට අවුරුදු 15න් පහළ කණ්ඩායමට සෙල්ලම් කරන්න යන්න වුණා, මට දුරකතනයක් තිබුණේ නැහැ. ඒ කාලේ මගේ මාමාට රැකියාවෙන් ලැබුණේ රුපියල් දෙදෙහක් හෝ තුන්දාහක් වගේ මුදලක්. දුරකතනයක් තිබුණා රුපියල් හත්දහසකට. ඒ නිසා එයා දෙතුන් දෙනෙකුගෙන් ණයට සල්ලි අරගෙන මට ඒක අරන් දුන්නා ," අනිකේත් පවසයි.
අනිකේත් තමාට ම කියා නිවසක් පසුගිය වසරේදී මිලට ගත්තේ ය.
2025 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම නිකේත් වර්මා මිල දී ගන්නා විට, ඔහු ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කිසිදු තරගයක් හෝ ක්‍රීඩා කර නොතිබිණි.
ESPN Cricinfo වෙබ් අඩවියට අනුව, ඔහු රුපියල් ලක්ෂ 30ක මූලික මිලකට මිල දී ගෙන තිබිණි.
ආක්‍රමණශීලී පිතිකරුවෙකු ලෙස ප්‍රසිද්ධ වීම
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අනිකේත් ප්‍රවේගකාරී මැදපෙළ පිතිකරුවෙකු ලෙස ප්‍රසිද්ධ ය. 2024 දෙසැම්බර් මාසයේදී, ඔහු කර්ණාටක කණ්ඩායමට එරෙහිව මධ්‍ය ප්‍රදේශ් කණ්ඩායම නියෝජනය කරමින් වයස අවුරුදු 23න් පහළ එක්දින තරගාවලියේදී පන්දු 75කදී නොදැවී ලකුණු 101ක් රැස් කළ අතර එයට හතරේ පහර හයක් සහ හයේ පහර අටක් ඇතුළත් විය.
මෙම ඉනිම නිසා ඔහු ප්‍රසිද්ධියට පත් විය.
ඔහු එම තරගාවලියේ තරග හතකට ක්‍රීඩා කළ අතර එහිදී හයේ පහර 16ක් සමගින් ලකුණු 184ක් රැස් කළේ ය. ඔහුගේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 46ක් වූ අතර ලකුණු රැස් කිරීමේ වේගය 152.06ක් ලෙස සටහන් විය.
ඔහු මීට පෙර 2024 ජූනි මාසයේදී මධ්‍ය ප්‍රදේශ් ලීග් තරගාවලියේ බෝපාල් ලෙපර්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේ ය. ඔහු එහිදී ඉනිම 6කදී ලකුණු 273ක් රැස් කළේ, 195.00ක ලකුණු රැස්කිරීමේ ප්‍රහාරක වේගයක් රඳවා ගනිමිනි.
එම ලීගයේදී ඔහුගේ හොඳ ම ඉනිම වූයේ පන්දු 41කදී ලකුණු 123ක් රැස් කිරීම ය. එහිදී ඔහු හයේ පහර 13ක් එල්ල කළේ ය. ඔහුගේ මෙම ඉනිම හේතුවෙන් තරගයේදී බෝපාල් ලෙපර්ඩ්ස් කණ්ඩායමට ලකුණු 278ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගත හැකි විය.
සයිඩ් මුෂ්තාක් අලි කුසලානයේදී හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව ඔහු මධ්‍ය ප්‍රදේශ් කණ්ඩායම නියෝජනය කරමින් සිය ජ්‍යෙෂ්ඨ විස්සයි 20 මංගල තරගයට පිවිසි අතර ඔහු එම තරගයේදී ලකුණු නොලබා දැවී ගියේ ය.
2025 වසරේදී 23 හැවිරිදි වියේ පසුවූ ඔහු රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල IPL තරගයට සහභාගි වීමට පෙර ඔහු ක්‍රීඩා කර තිබූ එක ම T20 තරගය ද එය විය.
IPL තරගාවලියේ දැක්වූ දක්ෂතා
හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ දෙවන තරගයේදී, අනිකේත් පන්දු 13කදී හයේ පහර 5ක් සමගින් ලකුණු 36ක් රැස් කළේ ය. ඊළඟ තරගයේදී ඔහු පන්දු 41කදී හයේ පහර 6ක් ඇතුළුව ලකුණු 74ක් රැස් කළේ ය.
පසුගිය IPL තරග වාරයේදී, ඔහු සන්රයිසර්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 14 ම ක්‍රීඩා කළ අතර, එහිදී 166.19ක ප්‍රහාරක වේගයක් රඳවා ගනිමින් ලකුණු 236ක් ලබා ගත්තේ ය.
අනිකේත් මෙවර IPL තරග වාරය ආරම්භ කර ඇති ආකාරය අනුව, ක්‍රිකට් ලෝලීන් තරගාවලිය පුරා ම ඔහු ක්‍රීඩා කරන ආකාරය පිළිබඳව අවධානයෙන් පසු වනු ඇත.
ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත