ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම: රු. මි. 75ක වන්දියක් ගෙවන්නැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට නියෝග
ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | KEHELIYA RAMBUKWELLA
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු නිලධාරීන් පිරිසක් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.
ඒ අනුව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 75ක මුදලක් රජයට ගෙවිය යුතු බව නඩු තීන්දුවේ සඳහන් වේ.
ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශයේ එවක ලේකම් ජනක චන්ද්‍රගුප්ත රුපියල් මිලියන 50ක මුදලක් ද, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න රුපියල් මිලියන 50ක මුදලක් ද වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බව ද නියෝගයේ සඳහන් විය.
එහි වැඩිදුරටත් සඳහන් වූයේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන තවත් රුපියල් මිලියන 50ක් ද වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් කර තිබේ.
මෙම මිල දී ගැනීමේ ක්‍රියාවලිය තුළින් අල්ලස් පනත යටතේ කිසියම් ප්‍රතිපාදනයක් උල්ලංඝනය වන්නේ නම් ඊට අදාළව අවශ්‍ය විමර්ශන මෙහෙයවීමට කරුණු සලකා බලන ලෙසත් විනිසුරු මඩුල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට වැඩිදුරටත් නියෝග කළේ ය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු පාර්ශව දෙකක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබා දුන්නේ ය.
වරද සිදු කළ හැටි තීන්දුවෙන් අනාවරණය වෙයි
ඒ අනුව, කුමුදුනි වික්‍රමසිංහ, ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, වගඋත්තරකාර සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් "සේවොරිට් පාමසූටිකල් ප්‍රයිවට් ලිමිටඩ්" නමැති සමාගමකින් වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම සඳහා 2022 වසරේ සැප්තැම්බර් මස 26 වන දා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබෙන බව ය.
ඉන්පසුව විෂය භාර අමාත්‍යවරයා වන කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ වගඋත්තරකාර සමාගමෙන් අදාළ වෛද්‍ය සැපයුම් මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු කර තිබෙන බවත් තීන්දුවේ සඳහන් වේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙරටට ආනයනය කරන ඖෂධ හා වෛද්‍ය සැපයුම්වල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය තහවුරු කරමින් මහජන සෞඛ්‍යය සුරැකීමේ භාරදූර වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත පැවරී තිබේ.
ප්‍රශ්නගත වෛද්‍ය සැපයුම් මිල දී ගෙන ඇත්තේ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් වන අතර, එම අධිකාරියට අයත් වගඋත්තරකාර නිලධාරීන් දැන දැන ම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් මෙම වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම සඳහා අනුමැතිය දී තිබෙන බවත් නඩු තීන්දුව තුළින් චෝදනා කර තිබේ.
වග උත්තරකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශය මත වග උත්තරකාර එවක සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදාළ වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම සඳහා අනුමැතිය ලබාගෙන තිබිණි.
මෙම වෛද්‍ය සැපයුම් මිල දී ගැනීමේ ක්‍රියාවලියේදී වගඋත්තරකරුවන් ඊට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොමැති අතර ඔවුන් අත්තනෝමතික ආකාරයෙන් ක්‍රියා කර තිබෙන බවත් විනිසුරුවරු චෝදනා කරති.
මෙම ක්‍රියාවලිය හරහා වගඋත්තරකරුවන් ජනතා ශුභසාධනය සඳහා වෙන්කර තිබෙන රාජ්‍ය අරමුදල් අවභාවිත කරමින් එම මුදල් ජනතාවට අහිමි කිරීමට කටයුතු කර ඇතැයි තීන්දු කර තිබේ.
මහජනතාව විසින් පවරනු ලැබ තිබෙන බලය උපයෝගී කරගෙන මහජන සේවය ඉටු කිරීමට වගඋත්තරකරුවන් බැඳී සිටින අතර එම බැඳීම්වල වගකීම ඔවුන් තේරුම් නොගන්නේ නම් එය මතක් කර දීමට අධිකරණය බැඳී සිටින බවත් තීන්දුවෙන් පෙන්වා දී ඇත.
වගඋත්තරකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෙසු නිලධාරීන්ගේ ක්‍රියා කලාපය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන "නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය" උල්ලංඝනය වී තිබෙන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සිය තීන්දුව තුළින් අවධාරණය කළේ ය.
ඒ අනුව ඉහත සඳහන් ආකාරයට වගඋත්තරකරුවන් රජයට වන්දි ගෙවිය යුතු බවත් තීන්දුවේ අවසන් වශයෙන් සඳහන් කර තිබේ.
ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත