දින තුනකට පසු ආධාර රැගත් ලොරි රථ 130ක් ගාසා තීරයට

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පලස්තීන කම්කරුවන් දකුණු ඛාන් යුනිස් නගරයේ බේකරියකට පිටි ගෝනි ගොඩබාමින් සිටින අයුරු
කියවීමේ කාලය: මිනිත්තු 3

ඊශ්‍රායලය සති 11ක් පුරා පනවා තිබූ තහනම ලිහිල් කිරීමෙන් දින තුනකට පසු, එක්සත් ජාතීන්ගේ කණ්ඩායම් විසින් රැස් කරන ලද ආධාර රැගත් ට්‍රක් 130ක් පමණ ගාසා තීරයට ඇතුළු වී ඇත.

බදාදා රාත්‍රියේ කෙරෙම් ශලොම් පිවිසුම් මාර්ගය අසලදී තිරිඟු පිටි, ළදරු ආහාර සහ වෛද්‍ය උපකරණ ඇතුළත් ආධාර භාර ගෙන ඒවා බෙදා හැරීම සඳහා ගබඩා වෙත ගෙන ගොස් තිබේ. බ්‍රහස්පතින්දා සිට බේකරි කිහිපයක් එම පිටිවලින් පාන් නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබේ.

ඊශ්‍රායල හමුදාව විසින් අනුමත කරන ලද තනි ප්‍රවේශ මාර්ගයේ ආරක්ෂාව නොමැතිවීම හේතුවෙන් මෙම ප්‍රමාදයන් සිදු වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඊශ්‍රායල බලධාරීන් පැවසුවේ බදාදා කෙරම් ශලොම් හරහා අමතර ලොරි 100ක් ඇතුල්වීමට අවසර දුන් බවයි. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ එය "ගාසා තීරයේ දැවැන්ත අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නොවන" බවයි.

යුද්ධයට පෙර සෑම දිනකම සාමාන්‍යයෙන් ලොරි 500ක් පමණ භූමියට ඇතුළු වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මූලික ආහාරවල සැලකිය යුතු හිඟයක් සහ අධික මිල ගණන් මධ්‍යයේ, මිලියන 2.1 ක ජනගහනය අතර කුසගින්න උග්‍ර මට්ටමක පවතින බවට මානුෂීය සංවිධාන අනතුරු අඟවා තිබේ.