බාබ් අල්-මන්දාබ්: අවහිර කරන බවට ඉරානය තර්ජනය කරන දෙවන තීරණාත්මක නෞකා මාර්ගය

ඡායාරූප මූලාශ්‍රය, Gallo Images via Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය කිලෝමීටර 36ක් පමණ පළල වන අතර එය රතු මුහුද ඒඩන් බොක්ක සමග සම්බන්ධ කරයි
කියවීමේ කාලය: මිනිත්තු 6

රතු මුහුදේ වැදගත් නැව් මාර්ගයක් සම්බන්ධයෙන් ඉරානය එල්ල කරන තර්ජන ගෝලීය වෙළෙඳාමට තවදුරටත් බාධා ඇති වනු ඇතැයි යන බිය වැඩි කර තිබේ.

ඉරානය දැනටමත් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කර ඇත්තේ පර්සියානු බොක්කෙන් නෞකා පිටවීම නවතා දමමිනි. දැන් ඔවුහු ඒඩන් බොක්ක සහ රතු මුහුද අතර පිහිටා ඇති සූවස් ඇළ සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් වන බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන වෙළෙඳවලට කටයුතු බාධා කරන බවට තර්ජනය කරති.

ඇමෙරිකානු හමුදා ගොඩබිම් මෙහෙයුමකට අවතීර්ණ වුවහොත්, "වෙනත් සටන් පෙරමුණු" විවෘත කිරීමේ හැකියාව පවතින බවට ඉරානය පවසා තිබේ.

"බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය ලෝකයේ උපායමාර්ගික සමුද්‍ර සන්ධිවලින් එකක් ලෙස විදිහට සලකනවා. ඒ වගේ ම ඊට බරපතළ ලෙස තර්ජනය කිරීමේ අභිප්‍රාය සහ හැකියාව යන දෙක ම ඉරානයට තිබෙනවා," යනුවෙන් ඉරාන හාමුදා මූලාශ්‍රයක් උපුටා දක්වමින් ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකායට අනුබද්ධ තස්නිම් පුවත් ඒජන්සිය ප්‍රකාශ කළේ ය.

ප්‍රධාන තෙල් පර්යන්තයකට නිවහන වන කාර්ග් දූපතට ඇමෙරිකා එක්සත් ජනපදය පහර දීමක් කළහොත් සමුද්‍ර සන්ධියේ වෙළෙඳ කටයුතු සඳහා බාධා එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ.

බාබ් අල්-මන්දාබ් මෙතරම් වැදගත් වන්නේ ඇයි?

බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය රතු මුහුදේ අරාබි අර්ධද්වීපය දෙසින් පිහිටි යේමනයත්, අප්‍රිකානු දෙසින් පිහිටි ජිබුටි සහ එරිත්‍රියාවත් අතරත් පිහිටා තිබේ. ඉන්දීය සාගරයේ සහ ඒඩන් බොක්කේ සිට පැමිණෙන නෞකා සූවස් ඇළ වෙත පිවිසීම සඳහා මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ යුතු වේ.

කිලෝමීටර් 115ක් දිග සහ කිලෝමීටර් 36ක් පළලින් යුත් මෙම සමුද්‍ර සන්ධිය, 1869දී සූවස් ඇළ විවෘත කරන විට ගෝලීය වෙළෙඳාමේ අත්‍යවශ්‍ය සම්බන්ධකයක් බවට පත් වූ අතර එමගින් යුරෝපය සහ ආසියාව අතර කෙටි ම මුහුදු මාර්ගය නිර්මාණය විය.

රතු මුහුදේ හරහා වැටී ඇති මෙම නෞකා මාර්ගය දැන් ලෝකයේ කාර්යබහුල ම එකක් වන අතර, ලෝකයේ සමුද්‍රීය ගමනාගමනයෙන් හතරෙන් එකක් පමණ ඒ ඔස්සේ සිදු කරයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

යුද්ධය හේතුවෙන් දැනටමත් වසා දමා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් 20%ක් පමණ සිදුවේ. බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් ගෝලීය තෙල් ප්‍රවාහනයෙන් තවත් 12%ක් අඩාළ වනු ඇත.

එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනයට අනුව, මැදපෙරදිග සහ ආසියාවෙන් තෙල් බැරල් මිලියන පහක් පමණ බටහිර රටවලට සෑම දිනක ම මෙම මාර්ගය හරහා ගමන් කරයි.

තව ද, ගෝලීය ද්‍රව ස්වාභාවික වායු (LNG) නැව්ගත කිරීම්වලින් 8%ක් මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අතර එමගින් එය ගෝලීය බලශක්ති සැපයුම සඳහා අත්‍යවශ්‍ය මාර්ගයක් බවට පත් කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසු, රතු මුහුදට ගෝලීය වෙළෙඳාම තුළ තවත් වැදගත්කමක් ලැබී තිබේ. සෞදි අරාබිය, යාන්බු වරායේ සිට ඉන්ධන ප්‍රවාහනය සඳහා සංක්‍රමණ ස්ථානයක් ලෙස බාබ් අල්-මන්දාබ් භාවිත කිරීමට අරඹා ඇත.

සෞදිය සිය නැගෙනහිර තෙල් බිම්වල සිට නළ මාර්ගයක් හරහා දිනකට බොරතෙල් බැරල් මිලියන ගණනක් යැවීම සිදුකරයි.

ඉන්ධන සහ ගෑස්වලට අමතරව, බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය නැගෙනහිර සහ බටහිර අතර ප්‍රධාන වෙළෙඳ මාර්ගයක් ලෙස කටයුතු කරන අතර, ඒ හරහා සෑම දිනක ම බොහෝ භාණ්ඩ ප්‍රවාහන නෞකා ගමන් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Suez Canal Authority via European Pressphoto Agency

ඡායාරූප ශීර්ෂ වැකිය, 2021 වසරේදී එවර් ගිවන් නෞකාව සූවස් ඇළ අවහිර කළේ ය

2021 වසරේදී පැනමා ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන එවර් ගිවන් සිර වී සූවස් ඇළ අවහිර වූ විට සිදු වූ දෙයට සමාන බලපෑමක් මෙය වසා දැමීමෙන් ඇති කරනු ඇත.

එය ගෝලීය සැපයුම් දාමයන් පුරා දැඩි බලපෑමක් එල්ල කළ අතර, තෙල් සහ පුළුල් පරාසයක භාණ්ඩවල මිල ඉහළ යාමට සහ ඒවා බෙදා හැරීමේ ප්‍රමාදයන්ට හේතු විය.

හූති කැරලිකරුවන්ගේ භූමිකාව

බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධියට එල්ල වන ඕනෑ ම ප්‍රහාරයක් ඉරානයේ පිටුබලය ලබමින් යේමනයේ සිට ක්‍රියාත්මක වන දේශපාලන හා සන්නද්ධ කණ්ඩායමක් වන හූති කැරලිකරුවන් විසින් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අනන්‍යතාව හෙළි නොකිරීමේ කොන්දේසි මත රොයිටර්ස් පුවත් සේවයට අදහස් දක්වමින් හූති කැරලිකරුවන්ගේ නායකයෙකු පැවසුවේ, ඉරානයට සහය දැක්වීම සඳහා බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය ඉලක්ක කර ගැනීමට කණ්ඩායම "හමුදාමය වශයෙන් සූදානම්" බවයි.

මාර්තු 28 වන දින හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාරයක් දියත් කළ අතර, එය ඉරානයට එරෙහි ඇමෙරිකා-ඊශ්‍රායල යුද්ධයට ඔවුන්ගේ පළමු මැදිහත්වීම විය. යේමනයෙන් එල්ලවූ මිසයිල දෙකක් බිම හෙළූ බව ඊශ්‍රායලය පැවසීය.

මෙම කණ්ඩායම යේමනයේ රතු මුහුදට මුහුණ ලා ඇති වෙරළ තීරය පාලනය කරන අතර ගාසා යුද්ධයේදී බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ නෞකා ඉලක්ක කළේ ය. තනිව ක්‍රියාත්මක වෙමින් හූති කැරලිකරුවන් විසින් මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් වාණිජ නැව් 100කට වැඩි ගණනකට පහර දී ඉන් නෞකා දෙකක් ගිල්වා දමන ලද අතර ප්‍රහාරවලින් නැවියන් හතර දෙනෙකු ඝාතනයට ලක්විය.

ඡායාරූප මූලාශ්‍රය, Houthi Military Media via Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 2023 වසරේදී හූතිකැරලිකරුවෝ ගැලැක්සි ලීඩර් භාණ්ඩ ප්‍රවාහන නෞකාව පැහැර ගත්හ

2023 නොවැම්බර් මාසයේදී, මෙම කණ්ඩායම රතු මුහුදේදී ජපාන පාලනයේ ඇති ලබන බ්‍රිතාන්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පැහැර ගැනීමට හෙලිකොප්ටරයක් ​​භාවිත කළේ ය.

හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට සම්බන්ධ නැව් පමණක් ඉලක්ක කරගත් බව පැවසුව ද, මෙම ප්‍රහාර අහඹු එල්ල කළ ඒවා මිස නිශ්චිත ඉලක්ක වෙත එල්ල නොවූ ඒවා ලෙස ප්‍රකාශ විය. මෙය ලොව විශාලතම නැව් සහ ඉන්ධන සමාගම් බොහොමයක් මෙම මුහුදු මාර්ගය භාවිත කිරීම නැවැත්වීමට හේතු විය.

පසුව ප්‍රහාර යටපත් වූ අතර හූති කැරලිකරුවන් සටන අතහැර පසුබැස ගිය බව එක්සත් ජනපදය පැවසීය. නමුත් හූති කැරලිකරුවන් පැවසුවේ එක්සත් ජනපදය පසුබැස ගිය බවයි. කෙසේ වෙතත්, ප්‍රහාර නැවත ආරම්භ විය හැකි බවට විශේෂඥයෝ කණස්සල්ලට පත්ව සිටිති.

"මේ යුද්ධය දිග්ගැස්සුනොත් යේමනයේ හූති කැරලිකරුවන් ඊට එක්වෙයි කියලා හැම වෙලාවෙ ම අපේක්ෂා කළ දෙයක්" බීබීසී ප්‍රධාන ජාත්‍යන්තර වාර්තාකාරිනී ලීස් ඩුසෙට් පවසයි.

"වයඹදිග යේමනයේ ආධිපත්‍යය දරන හූති කැරලිකරුවන්, රතු මුහුද හරහා වැටී තිබෙන ගෝලීය වෙළෙඳ නෞකා මාර්ගවලට සම්බන්ධ කරන සමුද්‍රීය මුරපොළ වන බාබ් අල්-මන්දාබ් හරහා ගමනාගමනයට බාධා කිරීමේ හැකියාව තියෙනවා. ඔවුන්ගේ බලවත් ම අවිය මේ දක්වා භාවිත කරල නැහැ," ඇය තවදුරටත් පවසයි.

"2025 ඔක්තෝබර් මාසයේදී ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර සටන් විරාම ගිවිසුමෙන් පසු හූති ත්‍රස්ත කණ්ඩායම වාණිජ නෞකාවලට පහර දී නොමැති නමුත් මෙම කලාපයේ වාණිජ නෞකාවලට වගේ ම ඇමෙරිකා එක්සත් ජනපද වත්කම්වලට තර්ජනයක් එල්ල කරමින් සිටිනවා," පෙබරවාරි 26 වන දින නිකුත් කරන ලද එක්සත් ජනපද ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමුද්‍රීය පරිපාලන නිවේදනයක සඳහන් විය.

ගෝලීය නැව් ගමනාගමනය පීඩනයක

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දිනපතා ටොන් දහස් ගණනක් භාණ්ඩ ප්‍රවාහනය කරන නැව් විශාල ගණනක් මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි

අරාබි භාෂාවෙන් බාබ් අල්-මන්දාබ් යන්නෙහි තේරුම "කඳුළු දොරටුව" හෝ "ශෝකයේ දොරටුව" යන්නයි. මෙම නම මගින් ප්‍රබල දියවැල් සහ අනපේක්ෂිත සුළංවල සිට මුහුදු කොල්ලකෑම් සහ ගැටුම් දක්වා අනතුරු පිළිබිඹු කරයි.

2008 සහ 2012 අතර කාලය තුළ බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය සහ ඒ අවට මුහුදු කලාපයේදී මුහුදු කොල්ලකරුවන්ගෙන් ප්‍රහාර ගණනාවක් ම එල්ල විය. ඒවා ප්‍රධාන වශයෙන් කප්පම් ඉල්ලා නැව් කාර්ය මණ්ඩල පැහැරගෙන ගිය සෝමාලි කණ්ඩායම් විසින් සිදු කරන ලදී. එම සිදුවීම් හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව සහ නැව් සමාගම් කලාපයේ ආරක්ෂාව තර කිරීමට පෙළඹිණි.

එක් වර ම නෞකා මාර්ගය අවහිර කිරීම, හෝමූස් සමුද්‍ර සන්ධියේ තත්ත්වය හේතුවෙන් දැනටමත් පීඩාවට පත්ව ඇති බලශක්ති වෙළෙඳපොළ අර්බුදය තවදුරටත් උග්‍ර කරනු ඇත.

ගල්ෆ් කලාපයේ නැව්ගත කිරීමේ බාධා හේතුවෙන් අර්බුදයට පෙර ඩොලර් 70ක් පමණ වූ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 115කට වඩා ඉහළ ගොස් තිබේ.

පාරිභෝගික නිෂ්පාදනවල සිට කෘෂිකාර්මික භාණ්ඩ දක්වා පුළුල් පරාසයක් දක්වා විහිදී ඇති ගෝලීය වෙළෙඳාම ද මේ හේතුවෙන් බලපෑමට ලක්ව ඇත. තවත් සමුද්‍රීය මාර්ගයකට නව බාධාවක් එල්ල වීමෙන් භාණ්ඩ මිල ගණන් තවත් ඉහළ යා හැකි අතර ඉරානය සමග ගැටුමේ ආර්ථික කඩා වැටීම් වඩාත් ගැඹුරු කළ හැකිය.