පරිසරයේ පවතින උෂ්ණත්වයට වඩා අධික උණුසුමක් මේ දිනවල සිරුරට දැනෙන්නේ ඇයි?
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය, වව්නියාව, මන්නාරම සහ මොණරාගල දිස්ත්‍රික්කවලවලත් බොහෝ ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය යොමු කළ යුතු මට්ටමක' පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ බොහෝ දෙනෙකු පැවසුවේ" මේ දිනවල පවතින උෂ්නත්වය ශරීරයට දැරිය නොහැකි තරම් අපහසු බව ය.
පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිනපතා යාවත්කාලීන කිරීම් ඔස්සේ දැනුම් දෙයි.
'උදේ 11 වෙද්දි වැඩ නතර කරනවා'
අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි ගොවිතැන් කටයුතුවල නිරත වන 34 හැවිරිදි සචින් ධනංජය බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසුවේ, උෂ්ණාධික කාලගුණ තත්ත්වය මත එදිනෙදා ගොවිතැන් කටයුතුවල නිරත වීම පවා ඉතා අපහසු බව ය.
"රස්නේ කියන එක අපේ පළාත්වලට අමුතු දෙයක් නෙමෙයි. හැබැයි මේ දවස්වල දැනෙන රස්නේ නම් හරි ම වැඩි යි. මේ දවස්වල ගොවිතැන් වැඩ වුණත් උදේ ම පටන් අරන් උදේ 11 වගේ වෙද්දී නතර කරනවා. ආපහු හවස් වෙලා තමයි වැඩ පටන් ගන්නේ. ඒ තරම් ම රස්නෙ යි," ඔහු පැවසුවේ ය.
ශ්‍රී ලංකාවට බලපා ඇති උණුසුම් කාලගුණික තත්ත්වයට හේතුව කුමක් ද යන්න පිළිබඳව බීබීසී සිංහල සේවය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේ ය.
ඡායාරූප මූලාශ්‍රය, Met Department Sri Lanka
'සමහර අවුරුදුවල පෙබරවාරි ඉඳලා පටන් ගන්නවා'
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකි අංශයේ අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් පැවසුවේ, ඇතැම් කාලවලදී මෙරට උෂ්ණාධික කාලගුණික තත්ත්වය පෙබරවාරි මාසයේ සිට වාර්තා වී ඇති බව ය.
"2024 වසරේදී උණුසුම් කාලගුණික තත්ත්වය පෙබවරවාරි මාසයේ ඉදලා පටන් ගත්තා. දැන් අපි ඉන්නේ මාර්තු මාසයේ අග සතියේ. සාමාන්‍යයන් මාර්තු සහ අප්‍රේල් කියන්නේ ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය ඉහළ යන කාල සීමාවක්. පවතින කාලගුණික රටාවත් එක්ක යි මේ තත්ත්වය බලපාන්නේ," ඔහු පැවසුවේ ය.
ශරීරයට දැඩි උණුසුමක් දැනෙන්නේ ඇයි ?
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට පවතින උෂ්ණත්වයට වඩා මිනිස් සිරුරට වැඩි උෂ්ණත්වයක් දැනෙන්නේ ඇයි ද යන්න පිළිබඳව මෙහිදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂකවරයාගෙන් විමසීමක් කළ අතර ඔහු ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
"අපිට දවල් කාලයේදී මේ දවස්වල හොඳින් හිරු එළිය ලැබෙනවා. පොළොව වගේ ම තට්ටු ගොඩනැගිලි ආදිය රත්වෙනවා. ඒ වගේ ම ලංකාව කියන්නේ කුඩා දූපතක් වටේට ම මුහුද තියෙන්නේ. මුහුදු ජලයේ උෂ්ණත්වයත් ටිකක් ඉහළ අගයකින් තියෙන නිසා මේ කරුණුත් බලාපානවා."
"ඒ වගේ ම මේ දවස්වල සුළඟේ වේගය දුර්වල මට්ටමක තියෙන්නේ. මේ නිසා පරිසරයේ තියෙන රත් වෙච්ච වාතය ඉවත් වෙලා යන්නේ නැහැ. ඒකත් මේ තත්ත්වයට බලපානවා."
"වායුගෝලයේ පහළ මට්ටම්වල ජල වාෂ්ප රැඳී තියෙනවා. එතකොට තමයි ශරීරයට ටිකක් අපහසුවක් දැනෙන්නේ. මොක ද ශරීරයෙන් පිටවෙන දහදිය පරිසරයට යන්නේ නැහැ වායුගෝලයේ පහළ ජල වාෂ්ප තියෙන නිසා. මෙ ඔක්කොම කාරණා ගත්ත ම මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ටිකක් වැඩි අගයක් ගන්නවා අපි සාමාන්‍යයෙන් පරිසරයේ මනින උෂ්ණත්වයට වඩා."
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් කාලගුණ තත්ත්වය කොපමණ කාලයක් පවතී ද?
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය එළඹෙන මැයි මාසය අවසන් සතිය දක්වා දිවයිනට බලපානු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් පැවසීය.
"විශේෂයෙන් ම රටේ වෙරළබඩ කලාපයට වගේ ම රටේ බොහෝ ප්‍රදේශවලට මේ උණුසුම් කාලගුණ තත්ත්වය බලපානවා. ඉදිරියේදී උත්සව සමයත් එක්ක ගොඩක් දෙනා ගමන් බිමන් යන නිසා හොදින් වතුර බොන්න, සැහැල්ලු ඇඳුම් අදින්න කියලා මතක් කරන්න ඕන. ඒ වගේ ම වැඩි කාලයක් හිරු එළියට නිරාවරණය වෙලා වැඩ කරන අය, විශේෂයෙන් ම කම්කරුවන් එහෙම හැකි හැම වෙලාවක ම වැඩ කරන අතරවාරයේ විවේකයක් ලබා ගන්න එක සුදුසු යි."
"කුඩා දරුවන් වගේ ම වැඩිහිටියන් ගැන වැඩි අවධානයකින් ඉන්න. යම් සංකුලතා තියෙනව නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියලත් මතක් කරන්න අවශ්‍ය යි."
වැස්ස ලැබෙන්නේ කවදා ද?
අප්‍රේල් මාසයේ දෙවන සතිය වන විට දිවයින ආශ්‍රිතව අන්තර් මෝසම් වැසි තත්ත්වය සක්‍රීය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් පැවසීය.
" අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසයේ දෙවන සතිය වෙනකොට අන්තර් මෝසම් වැසි තත්ත්වය සක්‍රීය වෙයි කියලා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් මෙතැනදී අපේක්ෂා කරනවා."
"ඒ වගේ ම නිරිත දිග මෝසම් වැසි තත්ත්වය අපි අපේක්ෂා කරනවා මේ අවුරුද්දේ මැද භාගය වෙද්දී."
ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත