මොස්කව් ප්‍රසංග ශාලා ප්‍රහාරය: අයිඑස් සංවිධානය රුසියාව ඉලක්ක කරන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, PA Media

මොස්කව් නගරයේ ප්‍රසංග ශාලාවකට එල්ල වූ ප්‍රහාරය වසර ගණනාවක් තුළ රුසියාවේ සිදු වූ දරුණුතම ප්‍රහාරය යි. ජනාධිපති ව්ලැදිමීර් පූටින් සිය පස්වන ධූර කාලය ආරම්භ කර දින කිහිපයකට පසු තුවක්කුකරුවන් මෙම සංකීර්ණයට කඩා වැදී සිදු කළ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 139 දෙනෙක් මිය ගියහ. ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය (අයිඑස්) ප්‍රකාශ කර ඇත්තේ, ඔවුන්ගේ සාමාජිකයින් සිව් දෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කළ බව ය.

මේ, ප්‍රහාරය පිළිබඳව අපි දන්නා තොරතුරු සහ ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) සංවිධානය රුසියාවට පහර දෙන්නේ මන්ද යන්න පිළිබඳව විමසා බැලීමකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රසංගය පැවැත්වෙන ස්ථානයේ ගින්න හටගෙන ඇති අතර පසුව ශාලාවේ මුහුණත කොටසද ගිනිගෙන දැවී ගියේය

ක්‍රොකස් නගර ශාලා ප්‍රහාරය දිග හැරුණේ කෙසේ ද?

තුවක්කුකරුවන් මාර්තු 2 වන සිකුරාදා එරට වේලාවෙන් රාත්‍රී 8:00 පසු වී ක්‍රෙම්ලිනයේ සිට කිලෝමීටර් 20ක් (සැතපුම් 12ක්) දුරින්, මොස්කව් නගරයට මායිම් වන්නට පිහිටි ක්‍රොකස් නගර ශාලාවේ ප්‍රවේශ දොරටුවෙන් රංග ශාලාවට කඩාවදින අවස්ථාවේ එහි Picnic නමැති රොක් සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක් පැවැත්වීමට සූදානම්ව තිබිණි.

වීඩියෝවල දැක්වෙන්නේ, අවම වශයෙන් පුද්ගලයන් හතර දෙනෙකු ප්‍රසංග ශාලාව තුළට ඇතුළු වීමට පෙරත් ඒ තුළට ඇතුළු වූ පසු ඉවක් බවක් නොමැතිව වෙඩි තබන අයුරු ය.

ශ්‍රවණාගාරය තුළදී කාන්තාවක පැවසුවේ, වෙඩි ප්‍රහාර එල්ල වන බව දැනගත් වහා ම තමන් සහ අනෙක් අමුත්තන් වේදිකාව දෙසට වේගයෙන් දිව ගිය බව ය.

"මම දැක්කා පැති අවියක් සහිත පුද්ගලයෙක් ආසන තිබුණු හරියේ ඉඳලා වෙඩි ප්‍රහාර එල්ල කරමින් හිටිය හැටි. මම ලවුඩ් ස්පීකර් එකක් පිටිපස්සට බඩගාගෙන යන්න උත්සහ කළා," ඇය Russian TV වෙත පැවසුවා ය.

මහල් හතකින් යුක්ත ගොඩනැගිල්ලේ ඉහළ මහල් දෙකෙහි වීදුරු පිපිරෙමින් ශාලාවේ ඉදිරිපස ප්‍රදේශය ගිනිගෙන දැවිණි.

"ප්‍රසංග ශාලාවේ තුවාලකරුවන් ඇතුළු ප්‍රේක්ෂකයින් හිටපු ප්‍රදේශවලට ගිනි තියන්න ත්‍රස්තවාදීන් ගිනි ඇවිළෙනසුලු දියරයක් යොදාගෙන තියෙනවා," රුසියාවේ විමර්ශන කමිටුව පවසයි.

Picnic සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ට හානියක් සිදු නොවීය.

ඡායාරූප මූලාශ්‍රය, OLGA MALTSEVA / AFP VIA GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රසංග ශාලාවේ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට උපහාර දැක්වීමට පැමිණි ජනතාව

වින්දිතයන් කවු ද?

රුසියානුවන් 6,000කට අධික පිරිසක් මෙම ප්‍රසංගය සඳහා ප්‍රසංග ශාලා සංකීර්ණයට පැමිණ සිටියහ.

අඟහරුවාදා උදෑසන වන විට අවම වශයෙන් 139 දෙනෙකු මිය ගොස් ඇති බවට තහවුරු විය. මියගිය අයගේ පළමු නිල ලැයිස්තුවේ සඳහන් වූයේ, ප්‍රහාරයට ගොදුරු වූ වයස්ගතම පුද්ගලයා 70 හැවිරිදි වියේ පසුවන බව ත් මියගිය පිරිස අතර දරුවන් තිදෙනෙකු ද සිටින බව ත් ය.

වීඩියෝ ශීර්ෂ වැකිය, රුසියාවේ ප්‍රසංග ශාලාවට ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් මොස්කව් අධිකරණයට ​​රැගෙන ආ අයුරු

ප්‍රහාරකයන් කවු ද?

ප්‍රහාරය සිදු කළ පුද්ගලයින් ඔවුන් සිදු කළ විනාශයෙන් පසු පළා යාමට සමත් වුණු බව පෙනේ.

රුසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇලෙක්සැන්ඩර් කයින්ස්ටීන් පැවසුවේ, ප්‍රහාරකයන් මෝටර් රථයකින් පළා ගිය බව ය. ඔහුට අනුව, පොලිසිය මොස්කව් සිට කිලෝමීටර් 340ක් පමණ දුරින් මෝටර් රථය නැවැත්වීමට උත්සහ කළ අතර පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අනෙක් පිරිස පළා ගොස් තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Ostorozhno Novosti via Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියානු බලධාරීන් පැවසුවේ ප්‍රහාරකයන් බේරී පලා යෑමට මෙම මෝටර් රථය භාවිතා කළ බවයි

ආසන්න වශයෙන් වෙඩි තැබීම පිළිබඳව වාර්තා පළ වී ගත වුණු පළමු පැය14ට පසු රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය නිවේදනය කළේ, සිද්ධියට "ඍජුව ම සම්බන්ධ" යැයි පවසන හතර දෙනෙකු ද ඇතුළුව පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ය.

සැකකරුවන් හතර දෙනෙකු ඉරිදා මොස්කව් අධිකරණයක් හමුවට ගෙන ආවේ ඇදගෙන ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අධිකරණයේ සිටින සැකකරුවන් ඩලර්ජෝන් මිර්සොයෙව් (වමේ) සහ සයිඩක්‍රම් රචාබලිසෝඩා ලෙස හඳුනාගෙන ඇත.

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇති අතර රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන Tass පැවසුවේ, ඔවුන් සියල්ලන් ම ටජිකිස්තානයෙන් පැමිණි අය බව ය.

අධිකරණය හමුවට ​​ඉදිරිපත් කළ රැඳවියන් හතර දෙනා ම තුවාල ලබා සිටියහ.

රුසියානු ආරක්ෂක හමුදා විසින් පිට කරන ලද බවට පෙනෙන කුරිරු ප්‍රශ්න කිරීම් දැක්වෙන වීඩියෝ දර්ශන ඇති අතර වාර්තා පවසන්නේ, අවම වශයෙන් එක් රැඳවියෙකු හෝ විදුලි සැර වැදීම්වලට ලක් කර අතර තවත් අයෙකුගේ කන කපා ඇති බව ය.

ප්‍රහාරය එල්ල කළ බවට චෝදනා ලත් තුන්වැන්නා ප්ලාස්ටික් බෑගයක් සිය ගෙළ වටා ඔතාගෙන අධිකරණයේදී ප්‍රශ්නවලට පිළිතුරු දුන් අතර රෝද පුටුවකින් ගෙනැවිත් සිටි තුන්වැන්නා සිහිසුන්ව පෙනී සිටියේ ය.

වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන ඇසූ විට, ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම පුද්ගලයින් ෂම්සිදින් ෆරිදුනි (වමේ) සහ මුහම්මද්සොබීර් ෆයිසොව් ලෙස හඳුනාගෙන ඇත

මෙම ප්‍රහාරය සිදු වූයේ ඇයි?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය (අයිඑස්) තමන් ප්‍රහාරය පිටුපස සිටින බව පැවසීය. සෙනසුරාදා, ඔවුන් ප්‍රහාරකයින් බව පවසන සිව් දෙනාගේ ඡායාරූප නිකුත් කළ අතර ඔවුන් සියල්ලන් ම මුහුණු ආවරණ පැළඳ සිටියහ.

ඔවුන් පසුව ප්‍රහාරයේ අතිශය බිහිසුණු දර්ශන ඇතුළත් වීඩියෝවක් නිකුත් කළේ ය. අව්‍යාජ බවට බීබීසී පුවත් සේවය විසින් සත්‍යාපනය කරන ලද එම දර්ශනවල තුවක්කුකරුවන් පුද්ගලයින් කිහිප දෙනෙකුට වෙඩි තබන අයුරු දැක්වෙයි.

මොස්කව්හි "විශාල රැස්වීම්" ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වීමේ විභවයක් ඇති බවට සති දෙකකට පෙර එක්සත් ජනපදය අනතුරු ඇඟවීය. රුසියානු නිලධාරීන් අවලාද නගමින් සඳහන් කළේ, එක්සත් ජනපද බුද්ධි අංශවලට නිශ්චිත තොරතුරු නොමැති බව ය. විමර්ශනය අවසන් වන තුරු තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීම නුසුදුසු බව ක්‍රෙම්ලිනය පැවසීය.

සඳුදා - ප්‍රහාරයෙන් දින තුනකට පසු - රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පැවසුවේ, "අපරාධය සිදු කර ඇත්තේ ඉස්ලාමීය ලෝකය ම සියවස් ගණනාවක් තිස්සේ සටන් කරන මතවාදයක අනුගාමිකයින් වන රැඩිකල් ඉස්ලාම්වාදීන්ගේ අතින් බව අපි දනිමු," යනුවෙනි.

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරය ආරම්භ වූ විට ප්‍රසංගය නරඹන්නන් සැඟවී සිටිමින් රූගත කළ අයුරු

ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය, ටර්ක්මෙනිස්තානය, ටජිකිස්තානය, උස්බෙකිස්තානය සහ ඉරානය හරහා මුස්ලිම් කැලිෆේට් රාජ්‍යයක් පිහිටුවීමට උත්සහ කරන ශාඛාවක් වන ඉස්ලාමීය රාජ්‍ය-කොරාසාන්, එනම් අයිඑස්-කේ (IS-K) සම්බන්ධයෙන් එක්සත් ජනපදය සිටින්නේ දැඩි අවධානයෙනි.

ප්‍රහාරකයන් යුක්රේනයට පළා යාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් බව පූටින් මුලදී ප්‍රකාශ කර තිබේ.

"ඔවුන්ට දේශසීමාව තරණය කරන්න අවශ්‍ය අවකාශය හදලා දීලා තියෙන්නේ යුක්රේන පාර්ශවය විසින්," පූටින් පැවසීය.

යුක්රේනය රුසියාවේ මෙම ප්‍රකාශයන් "සම්පූර්ණයෙන් ම පිළිගත නොහැකි සහ විකාරරූපී" ලෙස තරයේ ප්‍රතික්ෂේප කළේ ය.

අයිඑස් සංවිධානයේ වීඩියෝ පටයක සහ ඔවුන් විසින් නිකුත් කරන ලද නිශ්චල ඡායාරූපයක පෙනී සිටින ප්‍රහාරකයින් දෙදෙනෙකුගේ ලක්ෂණ ක්‍රෙම්ලින් ගැති ටෙලිග්‍රෑම් නාළිකාවල පළ කරන ලද අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ වීඩියෝ සමග ගැළපීමට BBC Verify සමත් වී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරකයන් විසින් ගිනි තැබීමෙන් පසු ක්‍රොකස් සිටි ශාලාවේ කොටස් සම්පූර්ණයෙන්ම විනාශ විය

අයිඑස් සංවිධානය රුසියාව ඉලක්ක කරන්නේ ඇයි? - BBC Monitoringහි ජිහාඩ්වාදී මාධ්‍ය පිළිබඳ විශේෂඥ මිනා අල්-ලාමි විසින් සිදු කරනු ලබන විශ්ලේෂණය

දැඩි ආරක්ෂක යාන්ත්‍රණයක් ගැන ආඩම්බරයෙන් පසුවන සහ සැලකිය යුතු ලෙස අයිඑස් සංවිධානයේ සාමාජිකයින් නොසිටින රටක, ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම වසර ගණනාවක් තුළ සිදු කළ මාරාන්තික ම ප්‍රහාරය සිදු කර ඇත.

මෙම ප්‍රහාරය එල්ල වූයේ ජනාධිපති ව්ලැදිමීර් පූටින් සිය පස්වන ධූර කාලය සඳහා නැවත තේරී පත්වී දින කිහිපයකට පසුව ය. මෙම ප්‍රහාරය පූටින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ජිහාඩ්වාදී කණ්ඩායම ඔහුට දුන් "තෑග්ග" බව අයිඑස් ආධාරකරුවෝ ඉන්ටර්නෙට් ඔස්සේ ප්‍රශංසාවට ලක් කළහ.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 2015 වසරේ පැරීසියේ Bataclan ප්‍රසංග ශාලාවට එල්ල වූ ප්‍රහාරයෙන් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය

පැරිස් බටක්ලාන් ප්‍රහාරය

එය පුද්ගලයින් 90 දෙනෙකු ඝාතනය කෙරුණු 2015 නොවැම්බරයේ පැරීසියේ බටක්ලාන් ප්‍රසංග ශාලාවට අයිඑස් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරය සිහි ගන්වයි. එම ස්ථාන දෙකේ ම රොක් සංගීත ප්‍රසංග පැවැත්විණි.

ප්‍රහාර දෙකේදී ම තුවක්කුකරුවන් කිහිප දෙනෙකු රංග ශාලාව තුළට කඩාවැදිණි. මොස්කව් ප්‍රහාරය සඳහා ඇතැම් විට බටක්ලාන් ප්‍රහාරය ආදර්ශයට ගන්නට ඇති අතර වැඩි විනාශයකට සහ වැඩි මරණ ගණනකට හේතු වුණු ගිනි අවුළුවන බෝම්බ භාවිතය වැනි සමහර වැඩිදියුණු කිරීම් එහි දක්නට ලැබිණි.

2015 පැරිස් ප්‍රහාරයෙන් පසු නිකුත් කෙරුණු අයිඑස් වීඩියෝ පටයක, චෙචන් සටන්කරුවෙකු රුසියාවට තර්ජනය කරමින් කියා සිටියේ, පැරීසියේ ප්‍රහාරවලට සමාන ප්‍රහාර රුසියාව අත්විඳිය හැකි බව ය.

මොස්කව්හි සිදු වූ නවතම මෙහෙයුම වඩා ත් මෑත කාලීන අයිඑස් ප්‍රහාරයක් වන 2024 ජනවාරි 3 වන දින ඉරානයේ දකුණු නගරය වන කර්මන් වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරය හා සමානකම් දරයි.

එම ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු සම්බන්ධ වූ අතර, [මොස්කව් ප්‍රහාරයට සමාන මට්ටමේ සැලසුම්සහගත ප්‍රහාරයක් නොවුණ ද] මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් ගත් කල, 100කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය අතර එය සමානව විනාශකාරී විය.

ඡායාරූප මූලාශ්‍රය, Anadolu / Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 84 දෙනෙකුට මරු කැඳවමින් ජනවාරි 3 වැනිදා එල්ල වූ ප්‍රහාරවල වගකීම IS සංවිධානය විසින් භාර ගන්නා ලදී

රුසියාවේ මෙන්, අයිඑස් සංවිධානයට ඉරානයේ පැවැත්මක් හෝ ක්‍රියාකාරී ශාඛාවක් නොමැත.

රුසියාවේ හෝ ඉරානයේ සිදු වූ ප්‍රහාර කලාපීය ශාඛා අනුබද්ධිතව සිදුවූවක් නොවන බව සැලකිල්ලට ගත යුතු ය.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මිනිසුන් පලා යාමට උත්සාහ කරන විට ගොඩනැගිල්ල තුළ ඇති වූ භීතිය ගැන දිවි ගලවා ගත් අය පැවසූහ

රඳවාගෙන ඇත්තේ කවු ද?

"සමස්තයක් වශයෙන්, පුද්ගලයන් 11 දෙනෙකු රඳවා තබා සිටිනවා," ව්ලැදිමීර් පූටින් සිදු කළ ප්‍රකාශයකදී තහවුරු කළේ ය. "රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය සහ අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන ත්‍රස්තවාදීන්ට සහය වුණු පිරිස සම්පූර්ණයෙන් ම හඳුනා ගැනීමට සහ අනාවරණය කර ගැනීමට කටයුතු කරනවා."

රුසියානු රජයේ හිතවාදී විචාරකයෙකු වන මාගරිටා සිමෝනියන් 32 හැවිරිදි ඩලර්ජෝන් මිර්සොයෙව් (Dalerdzhon Mirzoyev) මෙම කල්ලියේ "නායකයා" ලෙස විස්තර කර ඇත. ඔහු සමග 30 හැවිරිදි සයිඩක්‍රම් රචාබලිසෝඩා (Saidakram Rachabalizoda), 25 හැවිරිදි

ෂම්සිදීන් ෆරිදුනි (Shamsidin Fariduni) සහ 19 හැවිරිදි මුහම්මද්සොබීර් ෆෙයිසොව් (Muhammadsobir Fayzov) යන අය අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඔවුන් සියල්ලන් ම ටජිකිස්තානයේ පුරවැසියෝ වෙති.

මිර්සොයෙව් මීට මාස කිහිපයකට පෙර රුසියාවේ නොවොසිබිර්ස්ක් නගරයට පැමිණියේ රැකියාවක නිරත වීම සඳහා බව ය. ඔහුගේ දූරස්ථ ඥාතියෙකු රුසියානු මාධ්‍ය වෙත පැවසුවේ, ඔහුට බිරිඳක් සහ දරුවන් හතර දෙනෙකු සිටින බව ය. මෙම ඥාතියාට අනුව, මිර්සොයෙව් මුලදී ඔහුගේ නිවසේ රාත්‍රී කාලය ගත කර ඇති අතර දිවා කාලයේ කුලී රථ රියදුරෙකු ලෙස සේවය කර ඇත, නමුත් නොවැම්බර් මාසයේදී මිතුරෙකු සමග වෙනත් ස්ථානයක පදිංචියට ගොස් පසුව "අතුරුදහන් වී" තිබේ.

"එයාගේ හැසිරීමේ අසාමාන්‍ය දෙයක් තිබ්බේ නැහැ; එයා ආගමික පොතක්වත් ගෙනාවේ නැහැ. ඇත්ත, මුළු පවුල ම දන්නවා මොකක් ද වුණේ කියලා. පෞද්ගලිකව මට, තවදුරටත් එහෙම ඥාතියෙක් නැහැ. මම දන්නේ නැහැ මේක එයා කොහොම කළා ද කියලා," එම පුද්ගලයා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇවිලෙන ක්‍රොකස් නගර ශාලාවේ ගින්න නිවා දැමීමට සහන සේවකයින් කටයුතු කරන අයුරු

ෆරිදුනි මාර්තු මස මුලදී මොස්කව් වෙත පැමිණ, ක්‍රස්නොගෝර්ස්ක් නගරයේ ජීවත් වන්නෙකු ලෙස ලියාපදිංචි වී පොඩොල්ස්ක්හි දැවමය බිම් අතුරන නිෂ්පාදනය කරන කම්හලක (parquet flooring factory) රැකියාවක නිරත වීම ආරම්භ කළේ ය.

හතර දෙනාගෙන් බාලයා වූ ෆෙයිසොව් ඉවානිවා නගරයේ බාබර් සාප්පුවක සේවය කළේ ය.

බලධාරීන් මුල් වරට මිර්සොයෙව්ව "නායකයා" ලෙස නම් කළ ද, කණ්ඩායමේ අනෙක් සාමාජිකයින් ද කැපී පෙනෙන භූමිකාවක නිරත වී ඇති බවට සාක්ෂි තිබේ.

ආරක්ෂක හමුදාවන්ට සමීප SHOT නමැති ටෙලිග්‍රෑම් නාළිකාව පවසන්නේ, ප්‍රහාරයට පෙර සති දෙක තුළ ෆෙයිසොව් සහ ෆරිදුනි අවම වශයෙන් පස් වතාවක් ක්‍රොකස්හි සිට ඇති බව ය. එම වාර්තාවලින් ඇඟවෙන්නේ, මීට පෙර ප්‍රහාරයක් දියත් කිරීම ගැන ඔවුන් සලකා බලා ඇති නමුත් ඒ වන විට රංග ශාලාවේ "වැඩිදියුණු කළ වැඩසටහනක් යටතේ රැකවල් යොදා තිබුණු බව" ය.

ප්‍රසංග ශාලාවේ සේවකයෙකු SHOT වෙත පැවසුවේ, ඔහු මාර්තු 7 වන දින "ශාලාව වටා සැරිසරමින්, වටපිට බලමින්" කිහිප වතාවක් ම "එක් එක් දෑ ඇත්තේ කොහේ දැයි" කියා කිහිප වතාවක් ම ඇසූ අවස්ථාවේදී තමන් ෆරිදුනි සමග කතා කළ බව ය. එදින ම ක්‍රොකස්හි සේවය කළ ඡායාරූප ශිල්පියෙකු විසින් ෆරිදුනිව ඡායාරූපගත කෙරිණි.

ප්‍රශ්න කිරීම්වලදී ෆරිදුනි කියා සිටියේ, තමන් තුර්කියේ සිට රුසියාවට පැමිණි බව ය. එහෙත් ෆරිදුනිගේ වදන් කෙතරම් දුරට සත්‍ය සමග ගැළපේ දැයි නොදනී.

තුර්කි ආරක්ෂක නිලධාරියෙකු අඟහරුවාදා කියා සිටියේ, මොස්කව් ප්‍රසංග ශාලාවට ප්‍රහාර එල්ල කළ සැකකරුවන්ගෙන් දෙදෙනෙකුට එරෙහිව කිසිදු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් නොකර තිබුණු බැවින් ඔවුන් රුසියාවට "නිදහසේ" ඇතුළු වූ බව ය.

මොස්කව් ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන් රුසියාව සමග සහයෝගීතාව වැඩි දියුණු කරන බවට තුර්කිය දුන් පොරොන්දුවෙන් පසු, එකවර සිදු කළ වැටලීම් මාලාවකින් අයිඑස් සමග සම්බන්ධ බවට සැක කරන පුද්ගලයින් 147 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Maxim Shemetov / Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියානු බලධාරීහූ ප්‍රහාරකයන් සොයමින් සිටිති

අනෙක් ප්‍රහාරකයින් කොහෙ ද?

ප්‍රහාරකයින් කවුරුන් ද යන්න නිසි ලෙස නොදැන සිටි මුල් අවස්ථාවේදී සැකකරුවන් හතර දෙනෙකු පිළිබඳ තොරතුරු Baza ටෙලිග්‍රෑම් නාළිකාවේ පළ විය. වාර්තා වන පරිදි, මධ්‍යම ෆෙඩරල් දිස්ත්‍රික්කයේ සියලු ම පොලිස් ස්‌ථානවලට ලැබී ඇති ප්‍රධාන තොරතුරු ද ඒවා විය. බීබීසීයට මෙම ප්‍රකාශයේ සත්‍යතාව තහවුරු කළ නොහැක.

ක්‍රොකස් ප්‍රහාරයට ඡායාරූපවල සිටින පුද්ගලයින් කිසි ම ආකාරයකින් සම්බන්ධ නැති බව පසුව දැනගන්නට ලැබිණි. එපමණක් නොව, ඔවුන්ගෙන් දෙදෙනෙකු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සිට ඇත්තේ, රුසියාවෙන් පිටත ය.