ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අතුරු හමුදා විසින් රඳවා ගත් ඉම්රාන් ඛාන් සන්නද්ධ රථ වලින් රැගෙනයන අයුරු දර්ශනවල දැක්වේ

දූෂණ චෝදනා මත හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නාට්‍යාකාර ස්වරූපයකින් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය අද (මැයි 11 වැනිදා ) තීන්දු කළේය.

ඔහුව වහාම නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කළේය. අඟහරුවාදා ඉස්ලාමාබාද්හි අධිකරණ පරිශ්‍රය තුළදී ආරක්ෂක අංශ විසින් ඔහු රඳවා ගැනීම නීති විරෝධී බව ඔහුගේ නීතීඥයින් තර්ක කර තිබුණි.

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු රට පුරා පැතිර ගිය ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගිය අතර පුද්ගලයින් 2,000 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත.

අඟහරුවාදා ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම ඔහු සහ හමුදාව අතර වර්ධනය වෙමින් පැවති ආතතීන් තවත් උත්සන්න කළේය.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී විශ්වාසභංගයෙන් නෙරපා හරින ලද විපක්ෂ නායකයා පාකිස්තාන අගවිනිසුරුවරයාගේ නියෝග මත අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

"ඔබව අත්අඩංගුවට ගැනීම වලංගු නොවන නිසා සමස්ත ක්‍රියාවලියම ආපසු හැරවීමට අවශ්‍යයි," අගවිනිසුරු උමාර් අටා බන්ඩියල් ඛාන් වෙත පැවසීය.

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අගනුවර පිහිටි මහාධිකරණය ඉදිරිපිටදී (මැයි 09 වැනිදා ) අත්අඩංගුවට අත්අඩංගුවට පත්විය.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඛාන් අධිකරණයේ පෙනී සිටීමට පැමිණි අතර එය දේශපාලනික අරමුණින් පැවරූ නඩුවක් බව ඔහු පවසයි.

දර්ශනවලින් දැක්වුණේ, පැරාමිලිටරි හමුදා, ඉම්රාන් ඛාන් අධිකරණ සංකීර්ණ පරිශ්‍රයට ඇතුළු වන විටම ඔහු රඳවා ගන්නා ආකාරයයි.

ඔහු පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී අගමැති ධුරයෙන් නෙරපා හරින ලද අතර එතැන් සිට හදිසි මහා මැතිවරණයක් සඳහා ඔහු ප්‍රචාරක ව්‍යාපාරයක නිරතව සිටියේය.

මහ මැතිවරණය මේ වසර අගදී පැවැත්වීමට නියමිතයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පාර්ලිමේන්තුවේදී විරුද්ධවාදීන් විසින් පසුගිය වසෙර්දී ඔහු අගමැති ධුරයෙන් නෙරපා හැරීමෙන් පසු ඉම්රාන් ඛාන් ප්‍රධාන විපක්ෂ නායකයා බවට පත් විය.

ඉම්රාන් ඛාන් බලයෙන් පහකිරීමෙන් පසු ඔහුට එරෙහිව නඩු ගණනක් පවරා ඇත.

පසුගිය නොවැම්බරයේ විරෝධතා පාගමනක් අතුරතුර ඔහුගේ රථ පෙළට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ද ඔහු දිවි ගලවා ගත්තේය.

තමාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට චෝදනා කිරීමෙන් පසු "පදනම් විරහිත චෝදනා" එල්ල කිරීමට එරෙහිව හමුදාව ඔහුට අනතුරු ඇඟමක් කළේය.