ඉන්දියාවේ නොමග යවන සුලු ඔක්සිජන් ප්‍ර‍තිකාර ක්‍ර‍ම පිළිබඳ කරුණු පරීක්ෂාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රතිකාර සඳහා ඔක්සිජන් සපයා ගැනීම බරපතල ගැටලුවක් වී තිබේ

ඉන්දියාව මේ වන විට මාරාන්තික කොරෝනා දෙවැනි රැල්ල සමගින් පොර බදමින් සිටින අතර සෞඛ්‍ය සේවා පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව තිබේ. මේ අතර ඉතා කඩිනමින් වෛද්‍ය ප්‍ර‍තිකාර අවශ්‍ය මට්ටමේ සිටින බරපතල රෝගීහු තමන්ට අවශ්‍ය ප්‍ර‍තිකාර ලබාගැනීමේ දුෂ්කරතා හේතුවෙන් විවිධ වූ විකල්ප ප්‍ර‍තිකාර ක්‍ර‍ම කෙරෙහි යොමු වෙමින් සිටිති.

අන්තර්ජාලය ඔස්සේ සැරිසරන යම් තොරතුරු හේතුවෙන් ඇතැම් පුද්ගලයින් ඉතා අනතුරුදායක ලෙස නොමග යවන සුලු තත්ත්වයට පත්කර තිබේ. උදාහරණයක් වශයෙන්, නිෂ්ඵල වූ ගෘහස්ථ ක්‍ර‍මවේද මගින් ඔක්සිජන් සංතෘප්ත මට්ටම ඉහළ නංවාගත හැකි බව එම තොරතුරුවලින් කියැවේ.

නෙබියුලයිසර් මගින් ඔක්සිජන් සපයනු නොලබයි

මුළු මහත් දේශය පුරා ඔක්සිජන් සැපයුම වෙනුවෙන් ඉතා ඉහළ ඉල්ලුමක් මේ වන විට පැන නැගී ඇති අතර, ශ්වසන පද්ධතිය ආශ්‍රිත ගැටලුවලදී වෛද්‍යවරුන් අදාළ ඖෂධ රෝගියාට ලබා දීමට යොදාගන්නා 'නෙබියුලයිසර්' ලෙසින් හඳුන්වන කුඩා උපකරණයක්, ඔක්සිජන් සිලින්ඩරය වෙනුවට භාවිත කළ හැකි බවට වෛද්‍යවරයකු කරන ප්‍ර‍කාශයක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

ෆේස්බුක්, ට්විටර් සහ වට්ස්ඇප් ඔස්සේ සංසරණය වූ එම වීඩියෝවෙහි අන්තර්ගත වූ පරිදි අදාළ වෛද්‍යවරයා එම උපකරණය භාවිත කළ යුතු ආකාරය පෙන්වා දෙමින් හින්දි භාෂාවෙන් ප්‍ර‍කාශ කරන්නේ "මේ මගින් (නෙබියුලයිසර් උපකරණය) සැපයීමට තරම් ප්‍ර‍මාණවත් ඔක්සිජන් අපගේ වටපිටාවෙහි තිබෙනවා" යනුවෙනි.

ඡායාරූප ශීර්ෂ වැකිය, 'නිබියුලයිසර්' නිර්මාණය කර ඇත්තේ ශ්වසන ඖෂධ සැපයීම සඳහා වුව ද කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් සැපයීමක් සිදු කළ නොහැක

එම වීඩියෝ පටයේ ඔහු වැඩිදුරටත් පවසන්නේ "ඔබට අවශ්‍ය වන්නේ නෙබියුලයිසරයක් පමණයි. එමගින් ඔබට අවශ්‍ය ඔක්සිජන් ඇදගත හැකියි" යනුවෙනි. ඔහුගේ ප්‍ර‍කාශනය ඇතුළත් පළකිරීමේ දැක්වෙන නවදිල්ලි නගරය ආසන්නයේ පිහිටා ඇති රෝහල, අදාළ වීඩියෝ පටයේ වගකීම භාර නොගනිමින් පෙන්වා දුන්නේ මෙම නෙබියුලයිසර් උපකරණය භාවිත කිරීම "සාක්ෂි හෝ විද්‍යාත්මක අධ්‍යයන" මගින් සනාථ කර නොමැති බවය.

එසේම අමතර ඔක්සිජන් සැපයීම කෙරෙහි මෙම ක්‍ර‍මවේදය සම්පූර්ණයෙන්ම ප්‍ර‍තිඵල රහිත බව වෙනත් වෛද්‍ය වෘත්තිකයින් ද පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් පළ වූ විවේචනවලට පිළිතුරු ලබා දෙමින්, අදාළ වෛද්‍යවරයා යළිත් වීඩියෝවක් නිකුත් කරමින් පවසා සිටියේ සිය පණිවිඩය "වරදවා අවබෝධ කරගෙන" ඇති බවය. නෙබියුලයිසර් උපකරණය, ඔක්සිජන් සිලින්ඩරය වෙනුවට භාවිත කළ හැකි බවක් තමන් අදහස් නොකළ බව ඔහු කියා සිටියේය.

කෙසේවෙතත්, මෙම වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ තවදුරටත් සංසරණය වෙමින් පවතී. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි ද පසුගියදා පැවති රැස්වීමකදී මෙම වීඩියෝවෙහි රූපරාමු ගෙනහැර දැක්වීය.

"බොහෝ වෛද්‍යවරු සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු බෙදාහරින අතර දුරකථන සහ වට්ස්ඇප් ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනවා" යනුවෙන් අගමැතිවරයා ප්‍ර‍කාශ කළ අවස්ථාවේදී අදාළ වීඩියෝවෙන් ලබාගත් රූපරාමු පෙන්වූවත් එහි හඬ යොදා නොගැණුනි.

ශාකසාර ඖෂධ මගින් ද ඔක්සිජන් මට්ටම ඉහළ නැංවීමක් නොකරයි

ඔක්සිජන් මට්ටම පහළ යාම වැනි කොවිඩ් 19 වසංගත රෝග ලක්ෂණවලට ප්‍ර‍තිකාර වශයෙන් නිවසේදී සාදාගත හැකි විවිධ ශාකසාර බෙහෙත් වට්ටෝරුවලින් මේ වන විට ඉන්දීය සමාජ මාධ්‍ය පිරී ඉතිරී ගොසිනි.

මේ අතරින් විශාල පිරිසක් අතර හුවමාරු වන එක් 'ප්‍රතිකර්මයක්' මගින් කියවෙන්නේ කපුරු, කරාබු නැටි, කැරම් බීජ සහ යුකැලිප්ටස් තෙල් ඇසුරින් සාදාගන්නා මිශ්‍රණයක් කොවිඩ් 19 වසංගත රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට ඔක්සිජන් මට්ටම පවත්වාගෙන යාමට උපකාරී වන බවය.

ඡායාරූප ශීර්ෂ වැකිය, ශාකසාර අත්බෙහෙත්වලට ඔක්සිජන් මට්ටම ඉහළ නැංවීමට නොහැක

කොරෝනා වෛරසයට ගොදුරුවූවන්ට මෙමගින් සහනයක් ලැබෙන බවට මෙතෙක් සාක්ෂි මගින් සනාථ කර නොමැත. ඉන්දියාවේ සාම්ප්‍ර‍දායික ආයුර්වේද වෛද්‍යවරයෙකු විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම මිශ්‍ර‍ණය ප්‍ර‍වර්ධනය කරන වීඩියෝව ෆේස්බුක් ඔස්සේ 23,000 ට වැඩි වාර ගණනක් මෙන්ම වට්ස්ඇප් ඔස්සේ ද හුවමාරු කර ඇත.

සාමාන්‍යයෙන් කපුරු තෙල්, සමේ ගල්වන ආලේපන වර්ග සහ විලවුන් නිෂ්පාදනයේදී පුළුල් වශයෙන් යොදාගන්නා අතර ශරීර අභ්‍යන්තරට අදාළ පරිභෝජනය අහිතකර විය හැකිය.

රෝග පාලනය පිළිබඳ එක්සත් ජනපද මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ කපුරු වාෂ්ප ආශ්වාස කිරීම විෂවීමට ද ඉඩ ඇති බවය.

'ලෙමන්' ද ‍විසඳුමක් නොවේ.

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ දේශපානඥයෙකු සහ ව්‍යාපාරිකයෙකු පසුගියදා ප්‍ර‍කාශයක් කරමින් සඳහන් කළේ ලෙමන් බිංදු දෙකක් නාසයට දැමීමෙන් ඔක්සිජන් සන්තෘප්ත මට්ටම ඉහළ නැංවෙන බවකි.

විජේ සන්කේශ්වර් නැමැති එම පුද්ගලයා පවසා සිටියේ ඔක්සිජන් මට්ටම ඉතා අවම තත්ත්වයේ සිටි තම සගයින්ට මෙම ප්‍ර‍තිකාරය තමන් යෝජනා කළ බවය. පැය භාගයක් ඇතුළත ඔවුන්ගේ ඔක්සිජන් මට්ටම 88% සිට 96% දක්වා ඉහළ නැංවුණු බව කී ඔහු ඉන්දියාවේ දැනට පවතින ඔක්සිජන් හිඟයෙන් 80%ක ප්‍ර‍තිශතයක් මෙම ක්‍ර‍මය ඔස්සේ විසඳාගත හැකි බව පැවසීය.

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔක්සිජන් සංතෘප්ත මට්ටමට ගෙන ඒම සඳහා ලෙමන් බින්දු ඉසීමට යෝජනා කරන විජේ සන්කෙශ්වර්

කෙසේවෙතත්, ඔක්සිජන් සංතෘප්ත මට්ටම මෙම ක්‍ර‍මය තුළින් ඉහළ නැංවෙන බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් ලැබී නොමැත.

මායා බලයක් ද නැත

ඉන්දියාවේ ජනප්‍රියතම යෝගා ගුරු ලෙස සැලකෙන බාබා රාම්දේව් ප්‍ර‍වෘත්ති නාලිකා මෙන්ම ඔහුගේ යූටියුබ් නාලිකාව ඔස්සේ පෙනී සිටිමින්, නිවසේදීම ඔක්සිජන් මට්ටම ඉහළ නංවාගන්නා ආකාරය පෙන්වා දෙයි.

"ඔක්සිජන් නොමැති බැවින් මුළු රටම එකම අඳෝනාවක් බවට පත්වෙලා තිබෙනවා. නමුත්, මම ඔබට මැජික් එකක් පෙන්වන්නම්" යනුවෙන් ඔහු පැවසුවේ තමන්ගේ එක් ඇඟිල්ලක ඔක්සිජන් මට්ටම පරීක්ෂා කරන උපකරණයක් සවිකරමිනි.

ඡායාරූප ශීර්ෂ වැකිය, යෝගා ගුරු බාබා රාම්දෙව්ගේ උපදෙස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට පටහැනිය

යූටියුබ් ජාලයේ ඇති මෙම වීඩියෝව 300,000ට වැඩි පිරිසක් නරඹා ඇති අතර වාඩි වී සිටින ඉරියව්වෙන් හුස්ම රඳවා තබාගන්නා ආකාරය පෙන්වන ආශ්වාස ප්‍ර‍ශ්වාස ව්‍යායාම ක්‍ර‍ම ඔහු එහි පෙන්වා දෙයි. නිර්දේශිත සීමාව ඉක්මවා ඔහුගේ රුධිරගත ඔක්සිජන් ප්‍ර‍මාණය පහළ බසිනු එහි පෙන්නුම් කරයි.

පසුව ඔහු සඳහන් කළේ "මෙයට (ඔක්සිජන්) පහළ බැසීමට තත්පර 20ක් ගත වුණා. ගැඹුරින් දෙවරක් හුස්ම ගැනීමෙන් ඔබට ඔක්සිජන් ලබාගත හැකියි. එය ඕනෑ තරම් අපේ වටපිටාවේ තිබෙනවා." යනුවෙනි.

සාමාන්‍යයෙන් යෝගා පුහුණු වීම ඔබේ සෞඛ්‍යයට හිතකර වුවත්, කොවිඩ් 19 වැනි සෞඛ්‍යමය ගැටලුකාරී තත්ත්වයක ඔක්සිජන් සංතෘප්ත බව පහළ බැස ඇති අවස්ථාවකදී අතිරේක වෛද්‍ය ප්‍ර‍තිකාරමය ඔක්සිජන් ලබාගත යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි.

"ඔක්සිජන් මට්ටම පහළ බැස ඇත්නම්, මෙම තත්ත්වය දීර්ඝ කාලයක් පැවතුනහොත්, එයට අවශ්‍ය මොහොතේ ප්‍ර‍තිකාර නොකළහොත්, සෛල හොඳින් ක්‍රියාකිරීම නවතිනවා. එසේම, ජීවිතය බේරාගැනීමට ලබාගත හැකි ප්‍ර‍තිකාරය වන්නේ වෛද්‍යයමය ඔක්සිජන් සැපයුමයි," යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය ජැනට් ඩයස් ප්‍ර‍කාශ කරන්නීය.