ඔස්ට්‍රේලියාවේ ගවයන් එක පෙළට මිය ගියේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, DEREK SHIRLEY

ඔස්ට්‍රේලියාවේ ගොවිපල හිමිකරුවෙකු විසින් එක පෙලට මිය ගොස් සිටි ගවයන් හය දෙනෙකුගේ මළ සිරුරු සොයා ගනු ලැබ ඇති අතර අකුණු ගැසීම හේතුවෙන් එම මරණ සිදුව ඇතැයි යන්න ප්‍රවීණයන්ගේ මතය වී තිබේ.

දැඩි කුණාටුවකින් පසු ක්වීන්ස්ලන්ඩ්හි පිහිටි ඉහත කී ගොවිපලේ කම්බි වැටක් අසළ එක පෙලට වැටී සිටි ගවයන්ගේ මළ සිරුරු සොයා ගනු ලැබ ඇත්තේ පසුගිය සතියේදීය.

ගවයන්ගේ හිමිකරු ඩෙරෙක් ෂර්ලි කියා සිටියේ එම දසුනින් තමන් "තැති ගත්" බවය.

සිඩ්නි විශ්ව විද්‍යාලයේ පශු සම්පත් පිළිබඳ ප්‍රවීණයෙකු වන ආචාර්ය සබ්‍රිනා ලොමැක්ස් පවසන්නේ මරණයට පත්වන අවස්ථාවේ සියලුම ගවයන් කම්බි වැටට ස්පර්ශ වී සිටියේ යයි තමන් විශ්වාස කරන බවය.

"දැඩි හෘදයාබධයකින් ක්ෂණිකව ඔවුන් මිය යන්න ඇති" යනුවෙන් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2016 වසරේ නෝර්වේහි අකුණු කුණාටුවකින් පිනි මුවන් 300 අධික සංඛ්‍යාවක් මරණයට පත්විය.

බ්‍රිස්බෙන් සිට සැතපුම් හතළිහක් පමණ දකුණු දෙසින් පිහිටි ගොවිපලේ හිමිකරු ඩෙරෙක් ෂර්ලි පළමුව සිතා ඇත්තේ කිසිවෙකු විසින් ගවයන්ට වස දී ඇතැයි යන්නය.

"කම්බි වැටට ඉදිරියෙන් ගවයන් සියලු දෙනාම එක පෙලට සිටිනවා දකින්න ලැබෙන්නේ නැහැ."

"ඔබට ඒ හරහා අඩි රූලක් යවන්න පුළුවන්."

විද්‍යා විචාරකයෙකු වන ආචාර්ය කාල් කෘසෙල්නිකි කියා සිටියේ පොළොවට අකුණ පතිත වීමත් සමග ගවයන් කම්පනයට ලක් වන්නට ඇති බවය.

"විද්‍යුත් ක්ෂේත්‍රය ඔවුන්ගේ පසුපස ගාත ඔස්සේ ශරීරය හරහා යනවා. එවිට හෘදයාබධ ඇති වෙනවා" යනුවෙන් ඔහු මාධ්‍ය වෙත පවසා තිබිණි.

2016 වසරේ නෝර්වේහි සිදු වූ අකුණු කුණාටුවකින් පිනි මුවන් 300 අධික සංඛ්‍යාවක් මරණයට පත්විය.