ළමා ශුභසාධන ආයතනයට ඇෆ්ඝන් ප්‍රහාරකයෝ කඩා පනිති

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරකයන් කඩා වැදුනේ කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් බව පැවසෙයි

ඇෆ්ඝනිස්තාන් සන්නද්ධ ප්‍රහාරකයන් කණ්ඩායමක් 'ජලාලාබාද්' නගරයේ ළමා ශුභ සාධනය සඳහා වන 'සේව් ද චිල්ඩ්රන්' ජාත්‍යන්තර ආයතනයේ (Save the Children) කාර්යාලයට පහර දීමෙන් දෙදෙනෙකු මරණයට පත් වූ අතර අඩු තරමින් තවත් දොළොස් දෙනෙකුවත් තුවාල ලද බව වාර්තා වෙයි.

එම ජාත්‍යන්තර ළමා ශුභ සාධන ආයතනයේ කාර්යාලයට කඩා වැදුණ ප්‍රහාරකයන් කණ්ඩායමක් වෙඩි තබන්නට පටන් ගත් අතර විශාල පිපිරීමක් ඇසුණ බව එම කලාපයේ කටයුතු කරන ආණ්ඩුවේ නිලධාරීහු පවසති.

ඒ සමඟ ඇෆ්ඝන් ආණ්ඩුවේ ආරක්ෂක හමුදාව සහ ප්‍රහාරකයන් අතර ගැටුම ආරම්භ වී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අසල්වැසියන් ජීවිතාරක්ෂාව පතා

ප්‍රහාරය පිටුපස සිටින්නේ කවර සංවිධානයක්ද යන්න තවමත් ප්‍රකාශයට පත් වී නැති බවත් ඇෆ්ඝන් වාර්තා මගින් පැවසෙයි.

මෙම ප්‍රහාරය එල්ල කෙරුණේ, සන්නද්ධ ප්‍රහාරකයන් විසින් කාබුල් අගනුවර 'ඉන්ටකොන්ටිනන්ටල්' හෝටලයට පහර දී විසි දෙනකුට අධික පිරිසක් මරා දමනු ලැබීමෙන් දවස් කීපයකට පසුවය.

'ජලාලාබාද්' ප්‍රහාරය ආරම්භ කර ඇත්තේ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයක් සමඟ බවත් පැවසෙයි.

ඡායාරූප ශීර්ෂ වැකිය, කාර්යාල සංකීර්ණය තුළින් ඝන කළු දුමාරයක් ඉහළ නගිමින් ඇති පින්තූර ලැබෙමින් පවතී.

'සේව් ද චිල්ඩ්රන්' (Save the Children) කාර්යාල සංකීර්ණය තුළින් ඝන කළු දුමාරයක් ඉහළ නගිමින් ඇති පින්තූර ලැබෙමින් පවතී.

ජලාලාබාද් නගරයේ මාධ්‍යවේදී බිලාල් සර්වාරි බීබීසියට අදහස් දක්වමින්, ඇෆ්ඝන් කොමාන්ඩෝ භටයන් එම කාර්යාල සංකීර්ණ භූමියේ රැඳී සිටින අතර ප්‍රහාරකයන් ගොඩනැගිල්ලේ ඉහළ මහලෙහි සිටින බව පොලිසිය තමා සමඟ සඳහන් කළ බව කියා සිටියේය.

ප්‍රහාරකයන් ස්වයංක්‍රීය තුවක්කු, අත්බෝම්බ සහ RPG වැනි අවි වලින් සන්නද්ධ බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළ බව මාධ්‍යවේදී බිලාල් සර්වාරි පවසයි.

එක් ඇෆ්ඝන් සොල්දාදුවකු මරණයට පත්ව ඇති බව වෛද්‍යවරයකු විසින් තමාට ප්‍රකාශ කරන ලද බවත් එම මාධ්‍යවේදියා සඳහන් කළේය.මරණයට පත් දෙවැන්නා සාමාන්‍ය වැසියකු බවත් වාර්තා වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇෆ්ඝන් ආණ්ඩුවේ ආරක්ෂක හමුදාව සහ ප්‍රහාරකයන් අතර ගැටුම

'සේව් ද චිල්ඩ්රන්' (Save the Children) කාර්යාල සංකීර්ණය හැරුනවිට තවත් ආණ්ඩුවේ කාර්යාල ගණනාවක් ප්‍රහාරය එල්ල කරන ලද කලාපයේ ක්‍රියාත්මක වෙයි.

සබැඳි පුවත්;