කැටලෝනියා ජනමත විමසුම;පොලිසිය ඡන්ද පෙට්ටි පැහැර ගනිති

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඡන්ද පෙට්ටියක් පැහැර ගෙනයන පොලිස් කණ්ඩායමක්

ස්පාඤ්ඤ පාලනය සහිත 'කැටලන්' (Catalan) පළාතට නිදහස දිය යුතුද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද (ඔක්තෝබර් 01) ආරම්භ වූ ජනමත විචාරණය පැවැත්වෙද්දී පොලිසිය සමඟ ඇති වූ ගැටුම් නිසා විශාල පිරිසක් තුවාල ලද බව එම පළාතේ නිලධාරීහු පවසති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් නීතියට පටහැණි යයි තීන්දු කරන ලද මෙම ජනමත විචාරණය නොපවත්වන මෙන් ස්පාඤ්ඤ ආණ්ඩුව නියෝග කර තිබුණි.

'කැටලන්' පළාත ස්පාඤ්ඤයට අයත් ස්වයංපාලන බලතල සහිත භූමියක් වන අතර 'බාසිලෝනා' එහි අගනුවරයි.

ඡායාරූප ශීර්ෂ වැකිය, කැටලෝනියා ජනරජයක් විය යුතුද? නැද්ද?

ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහසක් රාජ්‍යයක් බවට පත්විය යුතුද? නැද්ද ? යන්න සම්බන්ධයෙන් මහජන මතය පිරික්සීමේ මෙම ජනමත විචාරණය කැඳවන ලද්දේ 'කැටලන්' ප්‍රාදේශීය පාර්ලිමේන්තුව විසිනි.

ඒ අනුව පැවැත්වුන ඡන්ද විමසීම් ආරම්භයේ පටන්ම බාධා කිරීම්වලට ලක් වූ බව එම පළාතෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඡන්දදායකයන්ට බාධා කරන පොලිස් භටයන්

මහජනයාට ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණීමට ඉඩ නොදුන් ස්පාඤ්ඤ පොලිසිය, ඡන්ද මධ්‍යස්ථානවලට කඩා පනිමින් ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා පැහැර ගත්හ.

ජනමත විචාරණයට පක්ෂව උද්ඝෝෂණය කරමින් සිටි ජනතාවට බැටන් ප්‍රහාර එල්ල කළ පොලිසිය රබර් උණ්ඩ මගින් වෙඩි තබන ලද බව 'බාසිලෝනා' නගරයෙන් වාර්තා වෙයි.

පොලිස් ප්‍රහාර මගින් 377 දෙනකුවත් තුවාල ලද බව 'කැටලන්' නිලධාරීන් පවසන අතරවාරයේ සිය පොලිස් භටයන් එකොළොස් දෙනකු තුවාල ලබා ඇති බව ස්පාඤ්ඤ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යාංශය පවසයි.

මෙම ජනමත විචාරණය වළක්වාලීම සඳහා විශාල පොලිස් බලකායක් 'කැටලන්' කරා යැවීම සහ පොලිසිය හැසිරුණ ආකාරය එම පළාතේ නායක Carles Puigdemont විසින් හෙළා දකිනු ලැබ ඇත.

"ස්පාඤ්ඤ ආණ්ඩුව විසින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා යුක්ති සහගත කරන්න බැහැ. ඒවගේම එවැනි ක්‍රියා මගින් 'කැටලන්' මහජන අභිලාෂය යටපත් කරන්නත් බැහැ" කැටලන් නායකයා කියා සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, UGC

ඡායාරූප ශීර්ෂ වැකිය, පොලිසිය සමඟ ගැටුමකින් අනතුරුව

එහෙත් සිදුවීම් සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අභ්‍යන්තර කටයුතු භාර ඇමති ජුවාන් ඉග්නාසියෝ 'කැටලන්' නායකයාට වගකීම් පවරමින් චෝදනා කළේය.

ජනමත විචාරණය සඳහා සිය ඡන්දය දීමට පැමිණි කාන්තාවක් අදහස් දක්වමින්, පොලිසිය බාල -මහළු භේදයකින් තොරව පයින් පවා පහර දුන් බව කියා සිටියාය.

"ආණ්ඩුව තමන්ගේ රටේ ජනතාවට එරෙහිව නරකම පියවර ගත් දවස අද මම දැක්කා" එම කාන්තාව පවසන්නීය.

මෙම ජනමත විචාරණයේ දී අසා තිබුණ ප්‍රශ්නය "කැටලෝනියා ස්වාධීන ජනරජයක් බවට පත් කිරීමට ඔබ එකඟද ? නැද්ද?" යන්නයි.

නියමිත ඡන්ද මධ්‍යස්ථානය වසා දමනු ලැබ තිබුනොත් තමන් විසින්ම මුද්‍රණය කර ගත් ඡන්ද පත්‍රිකාවක් මගින් ඕනෑම මධ්‍යස්ථානයක දී ඡන්දය දෙන ලෙසත් 'කැටලන්' ප්‍රාදේශීය පාලකයෝ මහජනයාට දැනුම් දී තිබිණි.

පොලිසියේ බාධා කිරීම් නිසා කැටලන් නායක Carles Puigdemont ට පවා වෙනත් ඡන්ද මධ්‍යස්ථානයක දී ඡන්දය දීමට සිදු වූ බවක් වාර්තා වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, කාන්තාවක් මෙල්ල කරන පොලිස් භටයන් කණ්ඩායමක්