ශ්‍රී ලංකා ක්‍රිකට්;තේරීම් කමිටුව ඉල්ලා අස් වෙයි

ඡායාරූප ශීර්ෂ වැකිය, තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුව සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය.

තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය ඇතුළු පස් දෙනකුගෙන් සමන්විත සමස්ත කමිටුව අද (අගෝස්තු 29) ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර වෙත ලිපියක් භාර දෙමින් ඔවුන්ගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

රොමේෂ් කලුවිතාරණ,රන්ජිත් මදුරසිංහ,එරික් උපශාන්ත සහ අසංක ගුරුසිංහ තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

එවැනි පියවරක් ගැනීමට බල පෑ හේතුව කුමක්දැයි බීබීසිය විමසීමක් කළ විට "ඇමතිවරයාට භාර දෙන ලද ලිපියේ සිය තීන්දුවට හේතු ඇතුළත් කරනු ලැබ ඇතැයි" ඉවත්ව යන තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සඳහන් කළේය.

කෙසේවුවද, තරඟ පහකින් යුත් ඉන්දියාවට එරෙහි එක් දින තරඟාවලියේ තවත් තරඟ දෙකක් ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇති අතර එම කාල සීමාව තුළ සිය කටයුතුවල රැඳී සිටින බව ඉවත්ව යන තේරීම් කමිටුව පවසයි.

තේරීම් කමිටුවෙ ඉවත් වීම ප්‍රකාශයට පත් කරන ලද්දේ එක් දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක චාමර කපුගෙදර පුහුණු සැසියක දී ආබාධයකට ලක්ව සිටින අතරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චාමර කපුගෙදර නායකත්වයට පත් කරන ලද්දේ උපුල් තරංග වෙනුවටයි

චාමර කපුගෙදර තුවාල ලැබීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට සංචාරක ඉන්දියානු කණ්ඩායමත් සමඟ අනිද්දා (අගෝස්තු 31) පැවැත්වීමට නියමිත සිව්වෙනි එක් දින ක්‍රිකට් තරඟය තවත් අලුත් නායකයකු යටතේ ක්‍රීඩා කිරීමට සිදු වෙයි.

සිය කණ්ඩායම සඳහා වෙනත් ක්‍රීඩකයකු නම් කිරීමට පියවර ගන්නා බව බීබීසිය කළ විමසීමක දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළේය.

චාමර කපුගෙදර වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් හෝ ලසිත් මාලිංග ඉන්දියාව සමඟ පැවැත්වෙන ඉදිරි තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා හැටියට ක්‍රියා කිරීමට බොහෝ ඉඩකඩ ඇත.

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉදිරි තරඟයේ නායකයා ලෙස?
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇන්ජලෝ මැතිව්ස්- හිටපු නායකයාට යළිත් වගකීම් පැවරේද ?

ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා උප නායක චාමර කපුගෙදර පත් කරන ලද්දේ උපුල් තරංග වෙනුවටයි.

එක් දින කණ්ඩායමේ නිත්‍ය නායක උපුල් තරංගට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් තරග දෙකක ක්‍රීඩා තහනමක් පැනවීමට පියවර ගනු ලැබීම ඊට හේතු විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟාවලියේ දී මෙතෙක් ක්‍රීඩා කළ ටෙස්ට් තරඟ මෙන්ම එක්දින තරඟ තුනත් පරාජය විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එක්දින තරඟාවලියත් පරාජය විය

එම තත්වය ඇතැම් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ කෝපයට හේතු විය.