උතුරු කොරියාවට යෑමට සූදානම් - ද. කොරියාවේ නව ජනපති

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නව ජනාධිපති මූන් ජේ-ඉන් විසින් තමන් හඳුන්වා ගනු ලබන්නේ පැවති පාලන සමයේ සිදු වූ අක්‍රමිකතාවලට තිත තබා රට ඉදිරියට රැගෙන යා හැකි පුද්ගලයෙකු වශයෙනි

නිදහස් මතධාරී මූන් ජේ-ඉන් දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුණි.

තමන් ආර්ථික ගැටලුවලට සහ උතුරු කොරියාව සමග පවතින සබඳතා සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙන බවට සිය පළමු දේශනයේ දී අදහස් දක්වමින් ඔහු ප්‍රතිඥා දුන්නේය.

ජනාධිපති මූන් වැඩිදුරටත් කියා සිටියේ නිවැරදි මොහොත පැමිණි විට තමන් උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට පවා සූදානම් බවය.

ඊයේ (මැයි 09) පැවති ජනාධිපතිවරණයෙන් ඉහළ ජයග්‍රහණය අත්කර ගත් මූන් ජේ-ඉන් දිනකට පසු සෝල් අගනුවර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේය.

හිටපු මානව හිමිකම් පිළිබඳ නීතිඥවරයෙකු සහ උතුරු කොරියාවේ සිට පැමිණි සරණාගතයෙකුගේ පුතෙකු වන ඔහු නිදහස් මතධාරියෙකු වශයෙන් ප්‍රචලිතය.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සහ මිසයිල වැඩසටහන මුල් කර ගනිමින් මතුව ඇති කලාපීය උණුසුම තවදුරටත් එළෙසම පවතී.

උතුරු කොරියාව සමග

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නව ජනාධිපතිවරයා සෝල් අගනුවර සිය ආධාරකරුවන් සමග

දකුණු කොරියාවේ වත්මන් විදේශ ප්‍රතිපත්තිය වෙනස් විය යුතු බව පවසන මූන් ජේ-ඉන් අසල්වැසි උතුරු කොරියාව සමග සමීප සංවාදයක් පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටී.

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හෙයිට මහා පරිමාණ දූෂණ චෝදනා එල්ල වීමෙන් අනතුරුව ඇයට එරෙහිව දෝෂාභියෝගයක් පැවැත්විණි.

ඒ හමුවේ හිටපු ජනාධිපතිනියට සිය ධුරයෙන් ඉවත් වීමට සිදු විය.