ලන්ඩන් ප්‍රහාරය : 7 දෙනෙකු අත්අඩංගුවට

වීඩියෝ ශීර්ෂ වැකිය, ලන්ඩන් ප්‍රහාරය: සිව් දෙනෙක් මරුට

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසළදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව කරන ලද වැටලීම්වලදී පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගැනිණි.

එම ත්‍රස්ත ප්‍රහාරයේදී, ප්‍රහාරකයා යැයි සැළෙකන පුද්ගලයා ඇතුළුව සිවු දෙනෙක් මිය ගියහ. ඒ අතරින් එක් අයෙකු 40 හැවිරිදි කාන්තාවකි.

තුවාල ලබා සිටින 29 දෙනා අතරින් හත් දෙනෙකුගේ තත්වය බරපතල බව වාර්තාවේ.

ඊයේ ප්‍රහාරයේදී, වෙස්ට්මින්ස්ටර් පාලම මත පදික වේදිකාවේ ගමන් ගනිමින් සිටි පුද්ගලයින් වෙත සිය රථය ධාවනය කර ඔවුන්ට තුවාල සිදු කළ ප්‍රහාරකයා පසුව පොලිස් නිලධාරියෙකුට පිහි පහර එල්ල කිරීමෙන් අනතුරව පොලිස් වෙඩි පහරට ලක්විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයත් සමග බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අගුලු දැමිණි

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරකයාට වෙඩි තැබීමෙන් පසු ප්‍රතිකාර කරමින්

පොලිසියට අගමැතිනියගේ ප්‍රණාමය

මේ සිදුවීමෙන් අනතුරුව, ආණ්ඩුවේ 'කෝබ්‍රා' නම් වූ හදිසි අවස්ථා කමිටු රැස්වීම නිමවා ඩවුනිං විදියේ සිය නිල නිවස අසළදී ප්‍රකාශයක් කළ අගමැතිනි තෙරේසා මේ, ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වූ පොලිසියේ 'විශිෂ්ට නිලධාරීන් සහ නිලධාරිනියන්ට' ප්‍රණාමය පුද කළාය.

ලන්ඩන් නාගරික පොලිසියේ වැඩබලන නියෝජ්‍ය කොමසාරිස් පැවසුවේ වෙස්ට්මින්ස්ටර් පාලම මතදී මෝටර් රථයක් පදිකයින් වෙත ධාවනය කරන අවස්ථාවේදී උත්සවයක් අවසානයේ නැවත පැමිණෙමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ද ඊට හසුවූ බවය.

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරකයාගේ ගමන් මාර්ගය

පාර්ලිමේන්තු වැටක මෝටර් රථය ගැටුනු පසුව, පිහියක් අතින් ගත් ප්‍රහාරකයා 'දිගටම පහර දෙමින්' ගොඩනැගිල්ල තුළට යාමට උත්සාහ දරා තිබේ.

ඇමතිගේ උත්සාහය

විදේශ අමාත්‍යාංශ නියෝජ්‍ය අමාත්‍යවරයකුවන ටොබායස් එල්වුඩ්, තුවාල ලත් පොලිස් නිලධාරියාගේ මුවට මුව තබා කෘත්‍රීම ශ්වසනය දීමට උත්සාහ දැරීය. හිටපු හමුදා නිලධාරියකුවන ඔහුගේ සොයුරා 2002 වසරේ ඉන්දුනීසියාවේ බාලි දූපතට එල්ලවූ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයේදී මිය ගියේය.

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, ටෝබායස් එල්වුඩ් තුවාල ලත් පොලිස් නිලධාරියාට ප්‍රථමාධාර දෙමින්