'ඉස්ලාමීය ත්‍රස්තවාදය' විශාලතම අභියෝගයයි - මර්කල්

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ජර්මනියේ චාන්සලර්වරිය ඇන්ගලා මර්කල්

ජර්මනිය හමුවේ පවතින විශාලතම අභියෝගය 'ඉස්ලාමීය ත්‍රස්තවාදය' යැයි එරට චාන්සලර්වරිය ඇන්ගලා මර්කල් පවසයි.

ඇය ඒ බව කියා සිටියේ 2017 එළඹෙන නව වසර වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

දේශපාලන රැකවරණය පතා ජර්මනියට පැමිණි ටියුනීසියානු ජාතිකයකු විසින් ට්‍රක් රථයක් යොදා ගනිමින් බර්ලිනයේදී එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වන ඇය ආරක්ෂාව පතා පැමිණෙන පුද්ගලයන් ත්‍රස්ත ක්‍රියාකාරකම්වල යෙදීම 'පිළිකුල් සහගත කරුණක්' බව පවසන්නීය.

ජර්මනිය එවැනි අභියෝග ජය ගනු ඇති බවටත් ඇය විශ්වාසය පළ කරයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගියදා බර්ලිනයේ නත්තල් වෙළඳපොළකට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් දොළොස් දෙනෙකු මරුමුවට පත් විය

කෙසේ වෙතත් ජර්මානු ජනතාවගේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවටත් ඇන්ගලා මර්කල් චාන්සලර්වරිය සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් ප්‍රතිඥා දී තිබේ.

පසුගියදා බර්ලිනයේ නත්තල් වෙළඳපොළකට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් දොළොස් දෙනෙකු මරුමුවට පත් විය.