ශ්‍රී ලංකා ආරනූල් මැණික් පොකුර: ලෝකයේ ලොකුම මැණික ද? ඔබේ ප්‍රශ්නවලට පිළිතුරැ

ඡායාරූප ශීර්ෂ වැකිය, කිලෝ 510 බරැති රත්නපුරයෙන් හමු වූ මැණික් පොකුර (වම් පස ඉහළින්), Bahia ක්වාස්ට්ස් ක්රිස්ටලය (දකුණු පස ඉහළින්), 2016 වසරේදී මියන්මාරයෙන් හමු වූ ටොන් එකසිය හැත්තෑපහක බරින් යුත් යෝධ ජේඩ් මැණික (වම් පස පහළින්) සහ ලොව විශාලතම නිල් පඩියම ලෙස සැලකෙන 'ඔස්ට්‍රෝ' මැණික
    • Author, සුනෙත් පෙරේරා
    • Role, BBC සිංහල

රත්නපුරයෙන් මැණික් පොකුරක් හමුවීමත් සමග ඒ ගැන විවිධ මාධ්‍ය වාර්තා පළ විය.

එහි වටිනාකම සහ විශාලත්වය පිළිබඳ පරස්පර අදහස් ද ඒ අතර විය.

කිලෝග්‍රෑම් 510 ක් බරැති මැණික් පොකුර සහ ඒ පිළිබඳ ඔබට ඇතිවිය හැකි ගැටලුවලට රත්න විද්‍යාව සහ කැණීම් පිළිබඳ විශේෂඥ, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී.ජී.ආර් ධර්මරත්න BBC සිංහල සේවය වෙත ලබා දුන් පිළිතුරු පහත දැක්වේ.

මොනවද මේ ස්ටාර් සෆායර්?

කොරන්ඩම් (කුරුවින්ද) ක්‍රිස්ටල් ලෙස නිර්මාණය වී තිබේ.

කොරන්ඩම් යනු ඇලුමිනියම් ඔක්සයිඩ් සංයුතිය සහිත ඛනිජයකි.

වයිට්, බ්ලූ සහ යෙලෝ සෆායර් මෙන්ම රතු (Ruby) වැනි මැණික් වර්ග ඊට අයත් වේ.

ආරනූල් (ස්ටාර් සෆායර්) රවුම් මතුපිටක් ලැබෙන සේ කපා ඔප දැමූ විට රේඛා 6 ක තරු ලකුණක් දැකිය හැක.

ඇලුමිනියම් ඔක්සයිඩ්වලට අමතරව රූටයිල් කෙඳි පවතී.

රූටයිල් තට්ටු තුනක් පවතින විට තරු ලකුණ හොඳින් දිස්වේ.

හමුවෙන්නේ කොහෙද? ලංකාවේ විතරද?

සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයේ (කැරට් 10 හෝ 15) ආරනූල් වැඩි වශයෙන්ම හමුවන්නේ ශ්‍රී ලංකාවෙනි.

රත්නපුර, පැල්මඩුල්ල, ඇලහැර, ඔක්කම්පිටිය, නිවිතිගල ආදී ප්‍රදේශවලින් හමුවේ.

කොරන්ඩම් වර්ගයේ නිල්, රතු මැණික් හමුවන සෙසු රටවල ද ආරනූල් සුළු වශයෙන් හමුවේ.

මේ ලෝකයේ විශාලතම මැණික ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවෙන් හමු වුණු 'ආදම්ගේ තරුව' ලෙස නම් කර ඇති ලොව 'විශාලතම' ආරනූල් මැණික

අදාළ මැණික් පොකුර ලොව විශාලතම මැණික ලෙස ඇතැම් මාධ්‍ය විසින් හඳුන්වනු ලැබීම නිවැරදි නොවන බව මහාචාර්ය පී.ජී.ආර් ධර්මරත්න මෙන්ම මැණික් පිළිබඳ විශේෂඥයන් කිහිප දෙනෙකුම BBC වෙත තහවුරු කළහ.

එය ලොව මෙතෙක් වාර්තාවන විශාලතම කොරන්ඩම් (කුරුවින්ද) පොකුර ලෙස නිවැරදි විය යුතු බව මහාචාර්ය ධර්මරත්න පෙන්වා දෙයි.

මේක තනි ගලක් නොවෙයි. කොරන්ඩම් ක්‍රිස්ටල් පොකුරක්. මෙය විශාලතම කොරන්ඩම් ක්‍රිස්ටල් පොකුර කිව්වොත් නිවැරදියි.

බ්‍රසීලය වගේ රටවල හමුවන ක්වාර්ට්ස් (Quartz) පොකුරු මීටර් 2, 3 විශාලයි. ඒවා ට්‍රාන්ස්පේරන්ට් (පාරදෘශ්‍ය) වගේම ඇහැට ලස්සනට පේනවා.

නමුත් කොරන්ඩම් ක්‍රිස්ටල් පොකුරු වෙන රටවලින් හමුවෙන බවට වාර්තා මම දැක නැහැ. ලංකාවේ තමයි එහෙම පොකුරු හම්බ වෙලා තිබෙන්නේ.

ගල් 20, 30, 40, 50 සහිත කිලෝ තුන හතරේ පොකුරු ප්‍රදර්ශනවල සුලබව දකින්න පුළුවන්. ඒත් මෙතරම් විශාල එකක් දක්නට ලැබෙන පළමු අවස්ථාව මෙයයි.

ලොව විශාලතම කොරන්ඩම් පොකුර බව තහවුරු කර ගන්නේ කෙසේද?

ඡායාරූප මූලාශ්‍රය, Mr Gamage

ඡායාරූප ශීර්ෂ වැකිය, රත්නපුරයෙන් හමු වූ කොරන්ඩම් පොකුර

ගිනස් වාර්තාවට ඉල්ලුම් කිරීමෙන් ඒ බව සනාථ කර ගත හැකියි. මම හිතන්නේ ලෝකයේ ලොකුම, දිගම, පළලම වැනි දෙයක් ගැන කියවෙද්දී, ගිනස් වාර්තා පොතෙන් තමයි ඒ බව තහවුරු කර ගන්න පුළුවන්.

නැතුව මැණික්වලට කියලා වෙනම ක්‍රමවේදයක් නැහැ.

ගල් මැරෙන්න පුළුවන්ද?

ආරනූලක් හෝ තනි නූලක් සහිත වෛරෝඩියක් (Cat's eye) කපලා ඔප දමලා උඩින් ලයිට් එකක් අල්ලලා ගල කරකවන කොට ඒ රේඛාවල පණ තියෙන බවක් පෙන්නනවා. ඒවා එහෙ මෙහෙ (Move) වෙනවා.

ඩෙඩ් (මැරුණ) කියන්නේ නිකන්ම නිකන් ස්ටාර් එකක් වගේ තියෙනවා, නමුත් පණ තියෙන බවක් පේන්නේ නැහැ.

සාමාන්‍යයෙන් ට්‍රාන්ස්ලූසන්ට් (පාරභාසක/ යම්තාක් දුරට ඇතුලත පෙනෙන) වුණොත් තමයි වඩාත් හොඳ. ලයිට් ඔපෙක් (පාරාන්ධ/ ඇතුලත නොපෙනෙන) වුණාම, ඒ කියන්නේ ආලෝකය ඇතුලතින් යන්නෙම නැති වුණාම ඒවාට තමයි ඩෙඩ් කියලා කියන්නේ, රේඛාවල පණක් තියෙන බවක් පේන්නේ නැහැ."

පොකුර ඇතුලේ හොඳ මැණික් තියෙන්න පුළුවන්ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ලොව 'විශාලතම' නිල් පඩියම

සමහරු මේ පොකුරු කඩලා බලනවා හොඳ ගලක් දෙකක්වත් තියෙයිද කියලා. මේ දක්වා එහෙම ලැබුණ බවක් වාර්තා වෙන්නේ නැහැ. ගල් දාහක් දෙදාහක් තිබිලා එකක් හොඳට තිබ්බා නම් ඒ ගල, අර පොකුරට වඩා වටිනවා.

අනෙක් අතින් එහෙම පොකුරු තියන අය කඩලා බලනවත් අඩුයි, මොකද තනි තනි ඒවට වැඩිය ඒක පොකුරක් විදිහට වටින නිසා. ඒ කියන්නේ කඩලා බැලුවත් අර පිටතින් පේන්න තියන විදිහේ කපා ඔප දාන්න බැරි ගල්මයි ඇතුලෙත් තියෙන්නේ.

කපා ඔප දාන්න පුළුවන් නිල් මැණික් (Blue sapphire) පොකුරක් ලංකාවේ කොහෙන්වත් හම්බවුණු බවක් වාර්තා වෙන්නේ නැහැ. එහෙම නිල් මැණික් පොකුරු හම්බ වෙන්නේ නැත්තේ ඇයි? ඩෙඩ් ගල් විතරක් පොකුරු විදිහට හැදෙන්නේ ඇයි කියන දේ තේරුම් ගන්න බැහැ."

ජාත්‍යන්තර වෙළඳපොලේ මැණිකක මිල තීන්දු කරන්නේ කෙසේද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ආලෝකයට ඇල්ලූ විට ඇතුලත පළුදු පෙනෙන අයුරු

සෆායර් (නිල් කැට) හෝ රූබි (රතු කැට) එකක් කියමු. එතනදී අපි බලනවා හොඳට ට්‍රාන්ස්පේරන්ට් (පාරදෘශ්‍ය/ ඇතුලත පෙනෙන) ද කියලා.

ඒක ඇතුලේ රොඩු කුණු, ඒ කියන්නේ මැණික් ඇතුලේ හැදෙන වෙනත් ඛනිජ ද්‍රව්‍ය තිබෙනවද? ඒ කියන්නේ ක්ලීන් (පිරිසිදු) වෙන්න ඕනි.

ඒ වගේම ක්‍රැක්ස් (පළුදු) නැති වෙන්න ඕනි.

ඊළඟට හොඳ වර්ණය තියෙන්න ඕනි. ඒ කියන්නේ පාට අනුව ගලේ මිල වෙනස් වෙනවා. අන්න ඒ කරුණු බලලා තමයි ගලක මිල තීන්දු කරන්නේ.

මිල තීන්දු කිරීමේ විශේෂඥයන් සිටීද?

ජෙමොලොජිස්ට්ලා (රත්න විශේෂඥ) ඉන්නවා. ඒ කියන්නේ මැණික් ගැන ඉගෙන ගත්ත අය. උදාහරණයක් විදිහට අද දවසේ, නිල් මැණික්වල, මෙන්න මේ කලර් එකට (වර්ණයට) ලෝක වෙළඳපොල වටිනාකම කීයද කියලා බලලා, ගලේ බර (කැරට් ප්‍රමාණය/ ග්‍රෑම් 1/5 = කැරට් 1) අනුව ගණනය කරනවා.

ඔප නොදාපු රෆ් ගලක් නම්, මේ ගලෙන් කැරට් කීයක් ගන්න පුළුවන්ද? එහෙම වුණොත් ඒ පාටට ලෝක වෙළඳපොලේ මේ වෙලාවේ ලැබෙන්නේ මෙන්න මේ මිල කියලා වටිනාකම තීන්දු කරන්න පුළුවන්.

ඊට අමතරව පාරම්පරික මැණික් ව්‍යාපාරයේ නිරත අය කුඩා කාලයේ සිට ගල් සමග ගැවසිලා ලබා ගත්ත අත්දැකීමත් එක්ක රෆ් ගලක හරි කට් ඇන්ඩ් පොලිෂ් (කපා ඔප දැමූ) ගලක මිල තීන්දු කරනවා.

කෞතුකාගාර වටිනාකම තීන්දු කරන්නේ කෙසේද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කෞතුකාගාරවල ප්‍රදර්ශනයට තබා ඇති මැණික්

ඒ ඒ කෙනාගේ අවශ්‍යතාව මත තමයි කෞතුක වටිනාකම තීන්දු වෙන්නේ. අපි හිතමු මේක ලෝකයේ ලොකුම කොරන්ඩම් පොකුර කියලා. ඇමරිකාවේ ස්මිත්සෝනියන් කෞතුකාගාරය, එතකොට ලන්ඩන් කෞතුකාගාරය ඒවායේ මේ ජාතිය ගල් නැත්නම්, ඒ අයට කොපමණ මුදලක් ඒ වෙනුවෙන් වැය කරන්න පුළුවන්ද කියන දේ අනුව ඒ මිල තීන්දු වෙනවා.

උදාහරණයක් විදිහට මමත් සාම්පල් එකතු කරනවා, ළමයින්ට උගන්වන්න. ඉතින් මාත් කැමතියි මේක සාම්පල් එකක් විදිහට තියා ගන්න. මගේ මිල රුපියල් ලක්ෂයක් දෙකක් වෙන්න පුළුවන්, මොකද මට ඊට වඩා සල්ලි නැති නිසා. මට වඩා සල්ලි තියෙන කෙනෙක් ලක්ෂ දහයක් ගෙවලා එයාගේ ජෙම් ෂොප් එකේ තියා ගනී. ඊටත් වඩා තියෙන ආයතනයක් නම් ලක්ෂ පනහක් දීලා ප්‍රදර්ශන භාණ්ඩයක් වශයෙන්, මිනිස්සු ආකර්ෂණය කර ගැනීමට මෙය තබා ගනීවි.

ඉතින් මිල තීන්දු වෙන්නේ ඒ ඒ පුද්ගලයා හෝ ආයතනය සතුව තිබෙන මුදල මතයි.

මේ ගැනත් කියවන්න: